SRILANKAN NEWS

ජනතාව අප වෙත අනතුරු අඟවා තිබෙනවා – එජාප මහ ලේකම් කබීර් හෂීම්

මෙවර පළාත් පාලන මැතිවරණයෙන් ජනතාව අප වෙත දක්වා ඇති අනතුරු හැඟවීම පිළිබඳ ගැඹුරින් සිතා බලා කාර්ය භාරය වඩාත් නිවැරදිව සහ වේගවත්ව ඉටුකරලීමට කැප වෙන බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් කබීර් හෂිම් ඇමැතිවරයා ප්‍රතිඵල සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එම නිවේදනය මෙසේය.

පළාත් පාලන ඡන්දයේ දී ජනතාව ලබා දුන් තීරණය අපි හිස නමා පිළිගනිමු. මෙමගින් ජනතාව අප වෙත දක්වා ඇත්තේ අනතුරු හැඟවීමකි.

ඒ පිළිබඳ ගැඹුරින් සිතා බලා අපේ කාර්ය භාරය වඩාත් නිවැරදිව සහ වේගවත්ව ඉටුකරලීමට අපි කැපවන්නෙමු.

පසුගිය කාලය තුළ අප සිදු කළ සේවාවන් හා කාර්යයන් බොහෝය. ඉන් සමහරක් ජනතාවට ප්‍රදර්ශනය වෙයි. මෙම ඡන්දය ම ඊට කදිම උදාහරණයකි. මහා මුදල් කන්දරාවක් වියදම් කරමින්, එකම පක්ෂ‍යේ අපේක්ෂකයන් අතරද ගැටුම් ඇති කරවූ ක්‍රමයක් වෙනුවට යහපත් මැතිවරණ පරිසරයක් ඇති කිරීමට අපි සමත් වූයෙමු. මැතිවරණය සඳහා රාජ්‍ය දේපල හා සම්පත් අවභාවිතය සම්පූර්ණයෙන්ම පාහේ නවත්වාලූයෙමු. පසුගිය කාලයේ අධ්‍යාපනය හා සෞඛ්‍ය ක්ෂේත්‍රය ඇතුළුව ක්ෂේත්‍ර ගණනාවක අප විසින් සිදු කළ එවැනි යහපත් දේ ගණනාවකි. අප ඉටු කළ සමහරක් දෑ තවම ප්‍රදර්ශනය නොවෙයි. තව නොබෝ කලෙකින් ඒවායේ ප්‍රතිඵල ජනතාව හමුවේ දිස්වනු ඇත. ඒවායේ ප්‍රතිලාභ ජනතාවට දැනෙනු ඇත.

එසේම සපුරාලීමට නොහැකි වූ හා අසාර්ථක වූ දේ ද වෙයි. රාජපක්ෂ රෙජීමයෙන් වර්තමානයට උරුම වූ නිමක් නැති ණය කන්දරාව සහ නිරතුරුව පැමිණි ස්වාභාවික විපත් ද මේ තත්ත්වයට බලපෑවේය. නමුත් අතපසු වූ ඒ සියල්ල සපුරාලීමට හා සාර්ථක කර ගැනීමට අපි පූර්ණ වෙහෙස හා ශක්තිය දරන්නෙමු.

ජනවාරි 08 වන දා මෙරට ජනතාව සමාජ ආර්ථික හා දේශපාලනික වෙනසක් සඳහා අප වෙත වගකීමක් පැවරූහ. ඒ වගකීම අගෝස්තු මහ මැතිවරණයේ දී යළි තහවුරු කෙරිණි. අගෝස්තු මාසයේ ජනතාව විසින් අප වෙත ලබා දුන් ජනවරමට අනුකූලව අප වෙත පැවරී ඇති කාර්යය ජනතාව වෙනුවෙන් අර්ථ පූර්ණ ලෙස ක්‍රියාවට නැංවීමට කැපවන බවට යළි සපථ කරන්නෙමු.

කබීර් හෂීම්
මහලේකම්
එක්සත් ජාතික පක්ෂය