SRILANKAN NEWS

මහජනතාවට ඉටු විය යුතු සේවය උපරිම ලෙස ඉටුකරනවා – අනුර දිසානායක

ජනතා විමුක්ති පෙරමුණ දිනාගත් මහජන නියෝජිතයන්, මහජනතාවට ඉටුවිය යුතු සේවය උපරිම ලෙස ඉටුකිරීමට කැපවී සිටින බව ජනතා විමුක්ති පරෙමුණේ නායක අනුර දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසූවේ පැලවත්ත, බත්තරමුල්ල හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ ඊයේ (11) පස්වරුවේ පැවති මාධ්‍ය හමුව අමතමිණි.

“මේ වනවිට පළාත් පාලන මැතිවරණය අවසන් වී තිබෙනවා. මේ පළාත් පාලන මැතිවරණය පැමිණෙන විට රට තුළ විශාල ආණ්ඩු විරෝධයක් ගොඩනැඟී තිබුණා. මෙම මැතිවරණයේ ප‍්‍රතිඵල මඟින් පෙන්නුම් කරන්නේ පක්ෂයක් ලෙස අපි අපේක්ෂා කරන ලද බලය මෙම ප‍්‍රතිඵලය තුළ නොමැති බවයි. කෙසේ වුවත් 2011 මැතිවරණයට අනුව බැලුවොත්, මන්ත්‍රී සංඛ්‍යාවේත්, ඡන්ද ප‍්‍රමාණයේත් සැලකිය යුතු වර්ධනයක් තිබෙනවා.

තවද 2015 ජනවාරි 08 දා ජනතාව විසින් අපේක්ෂා කළ කාර්යයන්ට මුළුමනින්ම පිටුපස හරවා ආණ්ඩුව පසුගිය වසර 03ක කාලය පැමිණ ඇති බව මෙම මැතිවරණය ප‍්‍රතිඵලය විසින් පෙන්වා දී තිබෙන අතර, එහිම අනෙක් ප‍්‍රතිඵලය තමයි, ජනවාරි 08 දා පරාජයට පත්කරන ලද දුෂ්ට බලවේග නැවත හිස එසවීම.

ජනතාව පැත්තෙන් කල්පනා කරල බැලුවොත් මෙතැන් සිට දිගහැරෙන කාලය අතිශය තීරණාත්මකයි. මෙම පළාත් පාලන ආයතන ජනතාවගේ ජීවිත සමග සමීප ආයතනයි. ඒවායේ ක්‍රියාකාරකම් ජනතාවට මහත්සේ බලපානවා. ඒවායින් සේවාවන් සිදු නොවීම පිළිබඳ වගකීමක් මහජනතාවටත් තිබෙනවා.“ යැයි අනුර දිසානායක මහතා වැඩිදුරටත් පවසා තිබේ.