SRILANKAN NEWS

පවතින ආණ්ඩුවට සහාය ලබාදීමට එ.ජ.නි.ස. සන්ධාන මැති ඇමතිවරු ඒකමතිකව තීන්දු කරයි..

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ ඉදිරියටත් අඛණ්ඩව කටයුතු කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධාන මැති ඇමතිවරු ඒකමතිකව තීන්දු කර තිබේ.

පවතින දේශපාලන වාතාවරණය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (19) දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයින් අතර පැවති සාකච්ඡාවේදී මෙම තීරණයට පැමිණි බව අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසයි.

එහිදී දීර්ඝ වශයෙන් අදාළ වර්තමාන දේශපාලන තත්ත්වයන් පිළිබඳව කතා බහට ලක් වූ බවත් එම තීන්දු තීරණය ක්‍රියාත්මක කර ගැනීම සඳහා දීර්ඝ වශයෙන් එම මතයන්වල සිටිමින් කටයුතු කරන බවද එස්.බී. දිසානායක මහතා කියා සිටියි.

ඒ අනුව ඉදිරියේදී ආණ්ඩුවේ ප්‍රබල වෙනසක් දැකිය හැකි බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

කෙසේ නමුත් ඇමති මණ්ඩලයේ විෂයන් හා ඇමතිවරුන්ගේ යම් යම් සංශෝධන කිහිපයක් පමණක් සිදුවනු ඇති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.