SRILANKAN NEWS

අවසන් විශ්වාසය ජාත්‍යන්තරයයි – ඥාතීන් සමඟ එක්වෙන තෙක් අරගලය කරනවා

අතුරුදන්වූවන්ගේ ඥාතීන් කිලිනොච්චිය දී ආරම්භ කළ සත්‍යග්‍රහ අරගලයට වසරක් සම්පූර්ණ වී ඇති අවස්ථාවක ඊයේ (20) දින කිලිනොච්චිය කන්දසුවාමි කෝවිල අස සංඛේත උද්ඝෝෂණයක් ද පවත්වා තිබුණි.

උතුර නැගෙනහිර දිස්ත්‍රික්ක අටක අතුරුදන්වූවන්ගේ ඥාතීන්ගේ සංගමයෙහි නියෝජිතයන්, සිවිල් සමාජ සංවිධාන, දේශපාලන පක්‍ෂ, ආගමික නායකයන්, දකුණේ සංවිධාන ඇතුළු විශාල පිරිසක් මෙම උද්ඝෝෂණයට සහභාගිවූහ.

කිලිනොච්චිය කන්දසුවාමි කෝවිල අසල පෙරවරු 9ට පමණ ආරම්භ වූ උද්ඝෝෂණය දහවල් 1ට අවසන්වුණි. එහිදී අදහස් ප්‍රකාශ කළ අතුරුදන්වූවන්ගේ ඥාතීන්ගේ සංගමයේ නියෝජිතවරිය වන කලාරන්ජනී පවසා සිටියේ,

“අපගේ අරගලය ආරම්භ කර වසරක් අවසන් වූ නමුත් මෙතෙක් කිසිඳු විසඳුමක් ලබාදී නැහැ, රටේ ජනාධිපතිවරයා ද අපේ ප්‍රශ්ණය අත්හැර දමා තිබෙනවා, අපි ඉල්ලා සිටින්නේ අතුරුදන්වූ අපගේ ඥාතීන් ජීවතුන් අතර සිටිනවාද? සිටින්නේ නම් ඔවුන් සිටින්නේ කොහෙද? ඔවුන්ව නිදහස් කරන්නේ කවදාද? නැතිනම් අතුරුදන්වූවන් ජීවතුන් අතර නැතිනම් ඔවුන්ට සිඳුවුයේ කුමක් ද? යන්නයි. මෙය වගකීමකින් පැවැසිය යුතු රජය වගකීම් විරහිතව කටයුතු කිරීම කණගාටුදායකයි.

ශ්‍රී ලංකා කටයුත්ත පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානයට වසර දෙකක කල් අවකාශයක් ලබාදී තිබෙනවා. එයින් වසරක් අවසන් වූ නමුත් මෙතෙක් විශ්වාසයක් ඇති විය හැකි පරිදි කිසිවක් සිදුවී නැහැ, එක්සත් ජාතීන්ගේ සංවිධානයට ලබාදුන් කල් අවකාශය ශ්‍රී ලංකා රජය ආරක්‍ෂා කිරීමේ වැඩපිළිවලක්. අපිට නම් මෙම වසර දෙකක කල් අවකාශය වැඩකට නැති ක්‍රියාවක්.

දෙමළ දේශපාලන පාර්ශවය තම පක්‍ෂ භේදයෙන් එපිට අපගේ ප්‍රශ්ණය ගැන එක්වී හඞ නැගිය යුතුයි. එලෙසම සිවිල් සාමාජ සංවිධාන ද අප වෙනුවෙන් පසුගිය කාලයේදී මෙන් හඞ නැගිය යුතුයි. අවසන් යුද්දයේ දී දෙමළ ජන සංහාරයට ජාත්‍යන්තරය ද සහාය පළ කර තිබුණා. නමුත් දැනට අපට තිබෙන එකම විශ්වාසය ජාත්‍යන්තරයයි.“ යැයි ඇය වැඩිදුරටත් පවසා සිටියාය.