SRILANKAN NEWS

බලහත්කාරයෙන් අතුරුදන්වූවන් සෙවීමට ජාත්‍යන්තර බලපෑමක් අවශ්‍යයි

බලහත්කාරයෙන් අතුරුදන්වූන් සම්බන්‍ධයෙන් සත්‍යතාවය දැන ගැනීමට ශ්‍රී ලංකා රජය පියවර ගත යුතුයි ඒ සඳහා ජාත්‍යන්තරය ශ්‍රී ලංකාවට බලපෑම් කළ යුතු යැයි උතුරු පළාත් සභා මන්ත්‍රී පී. සත්‍යලිංගම් මහතා යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

ඊයේ (27) දින පැවැති උතුරු පළාත් සභාවේ 117වන සභා සැසිවාරයේදී ඔහු මෙම යෝජනාව ඉදිරිපත් කළේය. එහිදී අදහස් ප්‍රකාශ කරමින් ඔහු පවසා සිටියේ,

යුද්දය පැවැති කාලයේ දී සහ එහි අවසන් කාලය තුල උතුර නැගෙනහිර පළාත්වල දහස් ගණනක තරුණ තරුණියන් බලහත්කාරයෙන් අතුරුදහන් කර තිබෙනවා. ඔවුන් පිළිබඳ සත්‍යතාවය හෙළි කරන ලෙස ඉල්ලා අතුරුදන්වූවන්ගේ ඥාතීන් පසුගිය වසරක කාලයක් අඛණ්ඩ සත්‍යග්‍රහයක නිරතව සිටින නමුත්, අතුරුදන්වූවන් පිළිබඳව ශ්‍රී ලංකා රජය කිසිඳු යහපත් ක්‍රියාමාර්ගයක් නොගැනීමේ අවස්ථාවක අතුරුදන්වූවන් වැඩි පිරිසක් සිටින රටවල් අතරට ශ්‍රී ලංකාවද ඇතුලත් කර තිබෙනවා.

මෙවැනි තත්වයකදී අතුරුදන්වූවන් පිළිබඳ සත්‍යතාවය දැන ගැනීමට ශ්‍රී ලංකා රජය නිසි පියවරක් ගත යුතුයි ඒ සඳහා ජාත්‍යන්තරය ශ්‍රී ලංකාවට බලපෑම් කළ යුතුයි. ශ්‍රී ලංකා රජය අතුරුදන්වූවන් සඳහා කාර්‍යාලයක් පිහිටුවීමේ පනතක් පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කර එය සම්මත කර ඇති නමුත් එය ගැන මෙතෙක් කිසිඳු යහපත් ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත. යැයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.