SRILANKAN NEWS

මුස්ලිම්වරුන්ට එරෙහි මිලේඡ ප්‍රචණ්ඩත්වයට හේතුව වගවීම්වලින් ශ්‍රී ලංකාව නිදහස් කිරීමය

මුස්ලිම් ජනතාවට එරෙහි මිලේඡ ප්‍රචණ්ඩත්වයට හේතුව වගවීම්වලින් ශ්‍රී ලංකා රජය නිදහස් කිරීම බවත්, මේ හේතුවෙන් මුස්ලිම් ජනතාවට එරෙහි ප්‍රචණ්ඩත්වයට ජාත්‍යන්තරයද වගකිව යුතු බව දෙමළ ජාති ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා පවසයි.

බිම් බෝම්බයකින් ඝාතනයට ලක්වූ හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී කේ. සිවනේසන් මහතාගේ 10වන ගුණ සැමරුම් උත්සවය පසුගිය (6) වනදා වඩමරාච්චිය, මෛකල් ක්‍රීඩාංගනයේදී පැවැත්වුණි. එම අවස්ථාවට සහභාගිවෙමින් ගජේන්ද්‍රකුමාර් මහතා මේ බව පවසා සිටියේය.

“මුස්ලිම් ජනතාවට එරෙහිව සිඳුකළ ප්‍රචණ්ඩත්වය සිංහල බෞද්ධ ජාතිකත්වය මත උදාවූ දෙයක් නොවේ. එය සැලසුම් සහගත ජාතිවාදයකි. දෙමළ සමාජය විනාශ කළ සිංහල ස්වෝත්තමවාදය මුස්ලිම් ජනතාවට තමන්ට අභියෝගයක් විය හැකි යන බියෙන් දැන් සැලසුම් සහගතව ඔවුන්ව විනාශ කර දැමීමට උත්සහ දරනවා.

මුල්ලිවායිකාල්වල දෙමළ ජනතාව ජන සංහාරයකට ලක්වූ විට ශ්‍රී ලංකා රජය දඞුවම් ලැබුවේ නැහැ. ජාත්‍යන්තර වගවීම්වලින් ශ්‍රී ලංකාව ආරක්‍ෂා කළේය. මේ හේතුවෙන් තමන්ට ඔනෑම දෙයක් කරන්න පුළුවන්, තමන්ව ප්‍රශ්ණ කිරීමට කිසිවක් නැහැ යන මතය ඔවුන් අතර ප්‍රචලිතවිය. එහි ප්‍රතිඵලය තමයි අද මුස්ලිම්වරුන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයේ පසුබිම වේ.

සිංහලයන්ගේ මර්ධනයට එරෙහිව දෙමළ ජනතාව අරගලය කර තිබෙනවා. එම හේතුවෙන් දෙමළ ජනතාව කෙරෙහි සිංහලයන්ට කෝපයක් තිබිය හැක. නමුත් මුස්ලිම් ජනතාව සිංහල ජනතාව සමඟ සමීපතම සම්බන්‍ධතාවක් පවත්වාගෙන ගියා. මුස්ලිම් නායකයන් මෙතෙක් කාලයක් සිංහල රජයන් සමඟ එක්වී කටයුතු කළා. සිංහලයන්ට එරෙහිව ඔවුන් එක්රැස්වුනේ නැහැ. නමුත් අද සිංහල ස්වෝත්තමවාදීන් මුස්ලිම්වරුන්ව ඉලක්ක කර තිබෙනවා.

මෙම අර්බුදකාරි තත්වයකදී අපි උපදෙස් ලබා දෙනවා කියා සිතන්න එපා, මුස්ලිම් නායකයන් සහ ජනතාව හොඳින් සිතා බලා කටයුතු කළ යුතුයි. ඔවුන් තමන්ව ආරක්‍ෂා කරගත යුතුයි. දෙමළ ජනතාව ද මුස්ලිම් ජනතාවට සහයෝගය ලබාදිය යුතුයි“ යැයි ඔහු වැඩිදුරටත් පවසා තිබේ.