SRILANKAN NEWS

නීති විරෝධීව ඊශ්‍රාලයේ රැදී සිටින පුද්ගලයින්ට විරුද්ධව නීතිමය පියවර

ජපානයේ හෝ ඊශ්‍රාලයේ රැකියා ලබාගැනීම සදහා අතරමැදියන්ට කිසිදු මුදලක් ගෙවිය යුතු නැති බවත් රැකියා සදහා ඊශ්‍රාලයට ගොස් නීති විරෝධීව රැදී සිටින පුද්ගලයින්ට විරුද්ධව නීතිමය පියවර ගන්නා බවත් විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.

ඊශ්‍රාලයේ කෘෂිකාර්මික අංශයේ රැකියා හිමිවූ තරුණයින් සදහා ගුවන් ටිකට්පත් බෙදාදීම සදහා ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සියේදී පසුගිය සිකුරාදා (23) පැවති උත්සවයකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේද කියා සිටියේය.

“ඊශ්‍රාලයේ සහ ජපානයේ රැකියා ලබා දෙන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ රජයේ එකම විදේශ රැකියා නියෝජිත ආයතනය වන ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සිය මගිනුයි. ඊශ්‍රාලයේ රැකියා සදහා පිටත්ව යන අය රැකියා කාල සීමාව අවසන්වූ වහාම ලංකාවට එන්න ඕන. වලංගු රැකියා කාල සීමාව අවසන්වූ පසුව නීති විරෝධිව එරට රැදී සිටීම මගින් තවත් ලාංකිකයෙකුගේ රැකියා අවස්ථාවන් අහිමි වෙනවා. නියමිත පරිදි රැකියාව කර නැවත ලංකාවට ආවොත් ඔහුට නැවතත් එම රටට ගොස් රැකියාවක යෙදීමේ අවස්ථාව හිමිවෙනවා.

දැනට නීති විරෝධී ආකරයට ඊශ්‍රාලයේ රැදී සිටින අය සදහා නීතිමය පියවර ගැනීමට මේ වන විට පියවර ගෙන තිබෙනවා. නීති විරෝධි ආකාරයට ඊශ්‍රාලයේ රැදී සිටීම නිසා අපේ රටට ලැබෙන රැකියා ඇණවුම් අහිමිවී යාම නිසා රටට විදේශ විනිමය නොලැබී යන තත්වයක් ඇතිවිය හැකියි. මේ නිසා අපි මේ සම්බන්ධයෙන් තදින් සිටිමින් කටයුතු කරනවා.“

මේ අවස්ථාව සදහා ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි ආයතනයේ සාමාන්‍යාධිකාරී පී.පී. වීරසේකර මහතාද සහභාගී විය.