SRILANKAN NEWS

පාතාලය සහ සංවිධානාත්මක අපරාධ පාලනයට විශේෂ වැඩපිළිවෙලක්

අන්තර්ජාතික වශයෙන් පිළිගත් මානව හිමිකම් සහ සිවිල් අයිතිවාසිකම් සුරකින, නීතියේ ආධිපත්‍ය නිසි අයුරින් ක‍්‍රියාත්මක වන රටක් ලෙස ශ‍්‍රී ලංකාව ඉහළ තත්වයකට පත්කිරීමට රජය විසින් අවශ්‍ය සියලූ පියවර ගෙන තිබේ.

පාතාලයට සම්බන්ධ පුද්ගලයන් විසින් පසුගියදා සිදුකළ නීති විරෝධී ක‍්‍රියාකාරකම් සහ සංවිධානාත්මක අපරාධ කීපයක් නිසා එම ප‍්‍රදේශ තුළ පැවැති සාමකාමී වාතාවරණයට කිසියම් බලපෑමක් ඇතිවී තිබුනද, මාධ්‍ය මගින් හුවාදක්වනු ලබන ආකාරයෙන් නීතියේ පාලනය බිඳවැටීමක් සිදුවී නොමැති බවත්, සන්සුන්ව හා බුද්ධිමත් ව කටයුතු කරන ලෙසත් මහජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

රට තුළ සිදුවෙමින් පවතින එවැනි සංවිධානාත්මක අපරාධ මැඩපැවැත්වීම සදහා රජය විසින් දැනටමත් උපක‍්‍රමශීලී ක‍්‍රියාමාර්ග රැසක් ගෙන තිබේ. අතිගරු ජනාධිපතිතුමා සහ ගරු අග‍්‍රාමාත්‍යතුමා මේ පිළිබදව විශේෂ අවධානය යොමුකර, විශේ්ෂ කමිටුවක් මගින් අපරාධ මැඞීම සහ නීතිය හා සාමය ස්ථාපිත කිරීම සඳහා ගතයුතු ක‍්‍රියාමාර්ග පිළිබඳව පොලීසියට අවශ්‍ය උපදෙස් ලබාදී තිබේ. ඒ අනුව පොලිස් බුද්ධි අංශය වඩාත් සක‍්‍රීය කිරීම මගින් ඉදිරි කාලයේදී සම්පූූර්ණයෙන්ම පාතාලය පාලනය කිරීමට අවශ්‍ය දැඩි ක‍්‍රිිියාමාර්ග අනුුගමනය කරනුු ඇත.

ඒ අනුව, අපරාධ වැඩි වශයෙන් සිදුවන වන කොළඹ සහ තදාසන්න ප‍්‍රදේශවල නිරීක්ෂණ කටයුතු සදහා ශ‍්‍රී ලංකා පොලීසිය, සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කොට්ඨාසය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් දිවා රාත‍්‍රී විශේෂ මුර සංචාරයන්හි යොදවා ඇත. බස්නාහිර පළාතේ කොට්ඨාස දහයට ම කොට්ඨාස බලාත්මක කිරීමේ කණ්ඩායම් පිහිටුවා ඇති අතර නිල ඇඳුමෙන් මෙන්ම සිවිල් ඇඳුමෙන් රාජකාරි කරන නිලධාරීන් විශාල සංඛ්‍යාවක් යොදවා, අවශ්‍ය අවස්ථාවලදී ක්ෂණික පොලිස් මාර්ග බාධක යොදවා පරීක්ෂා කිරීම් ද සිදුකරනු ඇත.

මෙම මෙහෙයුම් මගින් පාතාලයට සම්බන්ධ ප‍්‍රබලයන් කීපදෙනෙක්ම පසුගිය දින කීපයේදී අවි ආයුධත් සමග පොලිස් අත්අඩංගුවට පත්වී තිබේ. පිටරට සිට මෙහෙයවන්නේයැයි කියන මෙරට ක‍්‍රියාත්මක පාතාල සාමාජිකයින් පිළිබඳ විස්තර පොලිස් බුද්ධි අංශ විසින් විමර්ශනයට ලක්කරමින් ඇති අතර නුදුරේදීම මෙරට සිටින ප‍්‍රබල පාතාල සාමාජිකයින් අත්අඩංගුවට ගැනීමට මෙන්ම විදෙස්ගතව සිටින පාතාල නායකයින් ද, ජාත්‍යන්තර පොලීසියේ සහාය ඇතිව අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය මූලික පරීක්ෂණ කටයුතු මේ වනවිටත් පොලීසිය මගින් සිදුකරමින් පවතී.

මෙම ගැටුම් පාලනයට අමතරව පාතාලය විසින් හසුරුවන මත්ද්‍රව්‍ය ජාවාරම පාලනය කිරීමට ද, රජය විවිධ සැලසුම් ක‍්‍රියාත්මක කර ඇත. විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ වැළැක්වීම සඳහා විශේෂ පොලිස් කොට්ඨාසයක් පිහිටුවා ඒ සඳහා අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගැනීම මගින් විවිධ ඖෂධ අලෙවිකරන මුවාවෙන් සිදුකරනු ලබන මත්ද්‍රව්‍ය භාවිතය හා සංසරණය වැළැක්වීමටත්, මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා ඵලදායී ක‍්‍රියාමාර්ග ගැනීමටත් හැකිවී තිබේ.