SRILANKAN NEWS

අපට ශ්‍රී ලංකා රජයත්, අනිත් අයට ඉනදිය රජයත් ආයුධ දුන්නා – ඩග්ලස්

douglas-devananda ඩග්ලස්ඊළ මක්කල් ප්‍රජාතාන්ත්‍රික් පක්‍ෂය කිසිවිටක, ආයුධ සන්නද්ධ කණ්ඩායමක් ලෙස හෝ, අතුරු හමුදා කණ්ඩායමක් ලෙස හෝ, එල්.ටි.ටි.ඊ. සංවිධානයට එරෙහි සංවිධානයක් ලෙස හෝ ක්‍රියාත්මක නොවූ බව එම පක්‍ෂයේ මහ ලේකම් පාර්ලිමෙන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

යාපනය මාධ්‍ය මධ්‍යස්ථානයේ ඊයේ සඳුදා දින පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පවසා සිටියේය.

ඉන්දියාව එල්.ටි.ටි.ඊ. සංවිධානය විනාශ කිරීමට ආයුධ ලබාදුන්නා..
ඉන්දිය රජය එල්.ටි.ටි.ඊ. සංවිධානය විනාශ කිරීමට විකල්ප කණ්ඩායම්වලට ආයුධ ලබාදී තිබුණා. ඊ.පි.ආර්.එල්.එෆ්, ටෙලෝ, බුලොට් සහ ඊරෝස් වැනි කණ්ඩායම්වලට ඉන්දිය රජය විසින් ආයුධ ලබාදී තිබුණි. එම කාල වකවානුවේ ඊ.පි.ඩි.පි. පාක්‍ෂිකයන් රටේ සිටියේ නැහැ, අපි යළි දිවයිනට පැමිණි අවස්ථාවේ එල්.ටි.ටි.ඊ. සංවිධානය අපිව ඝාතනය කිරීමට පටන් ගත්තා..

අපිට ශ්‍රී ලංකා රජය ආයුධ ලබාදුන්නා..
එමෙන් අපි ශ්‍රී ලංකා රජය වෙත ආරක්‍ෂාව ඉල්ලා සිටියෙමු. එවිට අපට ආයුධ හා පොලිස් ආරක්‍ෂාව රජය විසින් ලබාදුන්නා. රජය අපිට ආයුධ ලබාදුන් විට අපට පමණක් ආයුධ ලබාදුන්නේ නැහැ. මාවයි සේනාදිරාජා, රවිරාජ්, සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් වැනි පිරිසට ද ඔවුන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් ආයුධ ලබාදී තිබුණා.

ප්‍රේමදාස මහතා, සහ චන්ද්‍රිකා මහත්මියගේ රජය අපට ආයුධ ලබාදුන්නා, එලෙස ලබාදුන් ආයුධ සියල්ල 2002 වසරේදී අපි නැවැත භාරදුන්නා.

ඊ.පි.ඩි.පි. පක්‍ෂය සමාජ විරෝධි කටයුතුවල නිරතවුයේ නැහැ..
ආයුධ පෙන්වා කප්පම් ගැනීම, පැහැරගෙන යාම, ඝාතනය කිරීම, සහ මංකොල්ල වැනි අපරාධ ක්‍රියාවලට ඊ.පි.ඩි.පි. පක්‍ෂය කිසිවිටක නිරතවුයේ නැහැ. ඉන්දිය සාම හමුදාව පැමිණි කාලයේ ඔවුන් සමඟ එක්වී කප්පම් ගැනීම, ඝාතනය කිරීම, මංකොල්ල කෑම, පැහැරගෙන යාම වැනි අපරාධවල නිරතවූවන් කව්රුන්දැයි ජනතාව හොඳින් දැන සිටියි. ඊ.පි.ඩි.පි. පක්‍ෂයට එරෙහිව එල්ලකරන චෝදනා සියල්ල දේශපාලන කුහකම් මත එල්ල කරන චෝදනාය.

අපේ පක්‍ෂයේ යම්කිසි කෙනෙකු සමාජ විරෝධි කටයුතුවල සම්බන්‍ධනම් ඔවුන්ව අපි එසැණින් පක්‍ෂයෙන් ඉවත් කර තිබෙන බව ඩග්ලස් දේවානන්දා මහතා වැඩිදුරටත් පැවැසීය.