WORLD NEWS

රුසියාවට එරෙහිව ආර්ථික සම්බාධක පැනවීම ගැන ඇමරිකාව අවධානය යොමු කරයි..

ට්‍රම්ප් පරිපාලනය රුසියාවට ආර්ථික සම්බාධක පැනවීම කෙරෙහි අවධානය යොමු කර ඇතැයි විදෙස් මාධ්‍ය ඊයේ (16) වාර්තා කළේය.

සිරියානු රජයේ හමුදා ඩූමා ප්‍රදේශයට විස වායු ප්‍රහාරයක් එල්ල කළ බවට චෝදනා එල්ල කරමින් ඇමෙරිකාව, ප්‍රංශය සහ බ්‍රිතාන්‍ය ගුවන් හා මිසයිල ප්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුව මෙලෙස රුසියාවට ආර්ථික සම්බාධක පැනවීමට අවදානය යොමුකර තිබේ. ආණ්ඩු විරෝධී කැරැලිකරුවන්ගේ පාලනයේ තිබෙන ඩූමා ප්‍රදේශයට එල්ල කරන ලද රසායනික ප්‍රහාරයෙන් 80කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ. තමන් එලෙස විස වායු ප්‍රහාරයක් එල්ල කළේ නැතැයි සිරියානු රජයේ හමුදා පවසයි. රුසියාව ද එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.

කෙසේ වෙතත් ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් ප්‍රමුඛ රජයට චෝදනා කරමින් සෙනසුරාදා (14) මිසයිල 105ක දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළේය. ඇමෙරිකා, බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය රුසියාවට ද චෝදනා කළ අතර එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේදීද අමෙරිකා හා රුසියානු නියෝජිතයන් අතර උණුසුම් තත්ත්වයක් ද ඇතිවිය. සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් ප්‍රමුඛ රෙජීමය කරන අසම්මත ප්‍රහාරවලට රුසියාව ද සහාය දක්වන බවට අමෙරිකාව චෝදනා කරයි. එමෙන්ම රුසියාව සිරියානු රජයේ හමුදාවලට රසායනික අවි භාවිත කිරීමට අවස්ථාව සැලැසූ බවට අමෙරිකාව රුසියාවට චෝදනා කරයි.

මේ කරුණු සැලකිල්ලට ගනිමින් රුසියාවට සම්බාධක පැනවීමට ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් තීරණය කර ඇතැයි ධවල මන්දිරය නිවේදනය කළේය.

මේ වසරේ ගත වූ කාලයේදී අමෙරිකා එක්සත් ජනපදය රුසියානු නිලධාරීන්, පුද්ගලයන්, සමාගම් සහ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ඉලක්ක කරගනිමින් අවස්ථා කිහිපයකදීම සම්බාධක පැනවීය.