අද විවිධ සංවිධාන රට නොසන්සුන් කිරීමේ ව්‍යාපාරවල නිරතව සිටින අතර මේ පිළිබඳ රටේ සියලු මහජනතාව අවබෝධයෙන් කටයුතු කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව පවසා සිටියේ, පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් දැයෙන් සමුගෙන වසරක් පිරීම නිමිත්තෙන් ඊයේ (08) පස්වරුවේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති ගුණසමරු උත්සවය අමතමිනි.
සිංහල, මුස්ලිම් ජනතාව අසමගි කිරීමේ මෙන්ම සාමාන්‍ය ජනතාව නොසන්සුන් කිරීමේ විවිධ කුමන්ත‍්‍රණ අද රට තුළ දියත් වෙමින් තිබෙනවා. යුද්ධය කළ රණවිරුවන්ගේ ඉල්ලීම් ඉටු කිරීමට රජය තීන්දු කර තිබුණේ මීට මාස 04 කට පෙර වුවද යම් දේශපාලන වුවමනාවන් මත එම අසරණ රණවිරුවන් නොමග යවමින් ගැටලුකාරී තත්ත්වයක් මතුකිරීමට ඇතැම් පිරිසක් උත්සාහ කළ බවද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය.
මේ රට යහපත් රටක් ලෙස ගොඩනැගීමට පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමිපාණන් වහන්සේ ඉතා අභීතව කටයුතු කළ බව ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා ආගමික, ශාසනික, සමාජයීය වශයෙන් මෙන්ම ජාතියේ අනාගතය වෙනුවෙන් උන්වහන්සේ කැපවීම් සහ පරිත්‍යාගයන් සිදුකරනු ලැබුවේ, පොදු අපේක්ෂක මැතිවරණ ව්‍යාපාරයේ ආරම්භයටත් පෙර ඉතා දීර්ඝ කාලයක සිට බවද වැඩිදුරටත් පවසා සිටියේය.
Add Comment