සිදුහත් කුමරුගේ උපත, සම්බුද්ධත්වයට පත්වීම සහ සම්බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑම නිමිත්තෙන් ලෝකවාසී බෞද්ධ ජනතාව විසින් සමරනු ලබන වෙසක් උළෙල පසුබිමින් පරිත්‍රාණ ධර්ම දේශනයක් සේ ඇසෙනුයේ මානව ශිෂ්ටාචාරයේ පුළුල් පරාසයක් ආලෝකවත් කළ ශ්‍රේෂ්ඨ දාර්ශනිකයකු සහ විශිෂ්ට මානවවාදී ශාස්තෘවරයකුගේ උත්තුංග දැක්ම පිළිබඳ ප්‍රකාශනය වේ.
ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වනුයේ භාරතීය සමාජය විවිධ ඇදහිලි සහ ආගම් කෙරෙන් අතිශය සංකීර්ණව පැවැති අවධියකය. බ්‍රාහ්මණ බලාධිකාරීත්වය විසින් ජනවිඥානය සිය ආධිපත්‍යයට නතුකර ගෙන පැවැතිණි. ජන සමාජය විවිධ බෙදීම්කරණයට ගොදුරුව තිබිණි. ස්ත්‍රීත්වය යනු, නිෂේධනාත්මක ජීව විශේෂයක් විය. පුරුෂාධිපත්‍යය හමුවේ ඇය අව වරප්‍රසාදිත චරිතයක් වූයේය.
ආවර්ණ කල්පිත එකී ගතානුගතික සමාජ ආකල්ප පුපුරුවා හළ සම්බුද්ධාගමනය අන්ධානුකරණයේ ගැලී හුන් සමාජය විද්‍යාත්මක චින්තනයකට යොමු කළ අතර, මිනිසාගේ බුද්ධියට ඍජුව ආමන්ත්‍රණය කළේය. ඔහු සතු සිතා, විමසා බලා සත්‍යය තේරුම් ගැනීමේ අයිතිය ඔහුටම පැවරුවේය. එනයින් මිථ්‍යාවෙන් අත්මිදුණු අධ්‍යාත්මික මිනිසකු සමාජගත වූයේය.
මිනිසකු වසලයකු හෝ ශ්‍රේෂ්ඨයකු වන්නේ උපත අනුව නොව ඔහුගේ ක්‍රියාවන් මත බව බුදුරජාණන් වහන්සේ විසින් අනුදැන වදාළ දහමේ පොදු ආඛ්‍යානය වූයේය. ඒ ඔස්සේ සියලු මිනිස් වග එක රැහැනින් යා කෙරෙන සහජීවනය අනුප්‍රාණය ලද්දේය.
වෛරී සිත්මත මෛත්‍රියේ පැන් ඉසිමින් සියලු සත්වග වෙත අපරිමිත කරුණා, මුදිතා ගුණයෙන් මිනිසාගේ බුද්ධිමය ප්‍රඥාව අවදි කරමින් සසර විමුක්තිය පහදා දුන් බුදුරජාණන් වහන්සේගේ අනන්ත වූ ගුණ සමුදාය මෙනෙහි කෙරෙන මේ පින්බර වෙසක් සමයේ අනන්ත වූ බුදු ගුණ මහිමයේ අනුහසින් සකල ලෝ වැසි බොදුනුවනට උතුම් වූ වෛශාඛ්‍ය මංගල්‍යයක් වේවා යි පතමි.
Add Comment