අභාවප්‍රාප්ත ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ දේහය හෙට පෙරවරුවේ ජාතික චිත්‍රපට සංස්ථාවට

අභාවප්‍රාප්ත ප්‍රවීන සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ දේහය හෙට(02) පෙරවරුවේ ජාතික චිත්‍රපට සංස්ථාවට රැගෙන යාමට නියමිතය.

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 29 වන දින රාත්‍රී ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා අභාවප්‍රාප්ත විය.

ඒ මහතාගේ දේහය මේ වන විට තිඹිරිගස්යාය ලෙස්ටර් ජේම්ස් පීරිස් මාවතේ අංක 24 දරන ඔහුගේ නිවසේ තැන්පත් කර තිබේ. දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට පස්වරු 6.00ට නිදහස් චතුරස්‍රයේ දී පුර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් සිදුකෙරේ.

හෙට පෙරවරු 10.00ට ඒ මහතාගේ දේහය රැගත් අවමංගල්‍ය පෙරහැර නිවසින් පිටත්ව ලෙස්ටර් ජේම්ස් පීරිස් මාවත ඔස්සේ තුම්මුල්ල හරහා බෞද්ධාලෝක මාවතට පැමිණ ජාතික චිත්‍රපට සංස්ථාවට රැගෙන ඒමට සැලසුම් කර තිබේ. අනතුරුව දේහය රැගත් අවමංගල්‍ය පෙරහැර ජාතික චිත්‍රපට සංස්ථාවෙන් පිටත්ව ප්‍රේමකීර්ති ද අල්විස් මාවත හරහා නිදහස් චතුරස්‍රය වෙත පෙරවරු 11.00ට ළඟා වීමට නියමිතය.

මහජන ගෞරවය සඳහා ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ දේහය පස්වරු 3.30 දක්වා නිදහස් චතුරස්‍රයේ විවෘත කර තැබීමට නියමිතව ඇත‍.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top