SRILANKAN NEWS

යාපනය සරසවි සිසුන්ට පොලීසියෙන් මරණ තර්ජන

rajeevanයාපනය විශ්ව විද්‍යාල ශිෂ්‍ය නේවාසිකාගාරයේදී මධ්‍යම රාත්‍රීයේ උපන් දින උත්සවයක යෙදී සිටි සිසුන්ව වෙඩි තබා ඝාතනය කරනවා යැයි යාපනය පොලිසිය තර්ජය කර ගිය යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් පවසති. සිද්ධිය සම්බන්‍ධයෙන් කලා පීඨයේ ශිෂ්‍ය නායක රජීවන් පවසා සිටියේ..

යාපනය විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන ශිෂ්‍යකුගේ උපන් දිනය සැමරීමට කටයුතු සූදානම් කර තිබුණා, එවිට හදිසියෙන්ම නේවාසිකාගාරය තුලට පැමිණි පොලීසිය අපිට තර්ජනය කළා. එහිදී සරසවි නේවාසිකාගාරය තුලට අනවසරයෙන් ආයුධ සහිතව ඇතුල්වුනේ කෙසේදැයි විමසූ සිසුවකට ගිනි අවිය පෙන්වා ‘ඔබලාට වෙඩි තියලා අපි යනවා‘ යැයි තර්ජනය කර තිබුණි. තවද ශිෂ්‍යයකුගේ තොරතුරු ද තමන්ව තර්ජනය කර ලබාගත් බවට කලා පීඨයේ ශිෂ්‍ය නායකයා පැවැසීය.

මේ අතර, සරසවි නේවාසිකාගාර ගේට්ටුව අසල සිටි මුරකරුවන් ආයුධ සහිතව ඇතුල්වූ පොලීසිය මැඩපැවැත්වූ බවත්, රාත්‍රී කාලයේ ආයුධ සහිතව ඇතුල්වීමට අවසර ලබාදීමට නොහැකි බවට මුරකරුවන් පවසා සිටි නමුත්, ඔවුන්ට ද වෙඩි තබන බවට පොලීසිය තර්ජනය කරමින් ඇතුල්වූ බව පැවැසේ.

පසුගිය මස 20 වනදා යාපනය සරසවි සිසුන් දෙදෙනෙකු පොලිස් වෙඩි ප්‍රහාරයකින් ඝාතනයට ලක්වුණි. එම සිද්ධිය යාපනය සරසවි ප්‍රජාව අතර දැඩි නොසන්සුන් තත්වයක් ඇති කර තිබුණි. එම තත්වය පහවී යාමට පෙර නැවැත පොලීසිය විසින් සිසුන්ට මරණ තර්ජනය එල්ල කර තිබීමෙන් සිසුන් අතර යළි නොසන්සුන්කාරි තත්වයක් ඇතිවී තිබේ.