උතුරු පළාත් සභාවේ විපක්ෂ නායකවරයා සම්බන්ධ අවසන් තීරණය ඉදිරියදී පැවැත්වීමට නියමිත පළාත් සභා සැසිවාරයේදී ප්රකාශ කරන බව උතුරු පළාත් සභා සභාපති සි.වි.කේ. සිවඥානම් මහතා පවසයි. අද බ්රහස්පතින්දා දින පැවැති උතුරු පළාත් සභා සැසිවාරය අමතමින් සභාපතිවරයා මේ බව පවසා තිබේ.
උතුරු පළාත් සභාවේ විපක්ෂ නායකවරයා ලෙස ඊ.පී.ඩී.පි. පක්ෂයේ සින්නතුරයි තවරාසා මහතා කටයුතු කළ අතර, ඔහුව එම ධූරයෙන් ඉවත් කර විපක්ෂ නායකවරයා ලෙස ඊ.පි.ඩී.පි. පක්ෂයේ වෙනත් මන්ත්රීවරයකු වන වෛතියනාදන් තවනාදන්ව පත්කරන ලෙස එම පක්ෂයේ ලේකම් හා පාර්ලිමෙන්තු මන්ත්රී ඩග්ලස් දේවානන්දා මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්වරයා වෙත ලිඛිතව දැනුම් දී තිබුණි.
අදාළ ලිපිය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් විසින් උතුරු පළාත් ආණ්ඩුකාරවරයා වෙත යවා තිබෙන අතර, එය තමන්ට ලැබුණේ ඊයේ 23 වනදා සවස හෙයින් මේ සම්බන්ධයෙන් අද දින අවසන් තීරණය ගැනීමට නොහැකි බැවින් විපක්ෂ නායක ධූරය සම්බන්ධ අවසන් තීරණය ලබන සැසිවාරයේදී ප්රකාශ කරන බව උතුරු පළාත් සභා සභාපති පවසා තිබේ.
Add Comment