SRILANKAN NEWS

මහවිරු දින සැමරුම ගැන ආරක්‍ෂක අමාත්‍යංශයට කිසිවක් කළ නොහැක – ආරක්‍ෂක ලේකම්

කරුණාසේන හෙට්‌ටිආරච්චිඋතුරේ මහවිරු දින සැමරුම් සම්බන්ධව ආරක්ෂක අමාත්‍යාංශයට කිසිවක් කිරීමට නැතැයි ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පවසා තිබේ.

එල්.ටී.ටී.ඊ. සංවිධානය නීතිවිරෝධී කටයුත්තක් සිදුකර ඇත්නම් එය සොයා බැලීම හමුදාවේ විෂය පථයට අයත් කාරණයක් නොව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයට සහ පොලිස් දෙපාර්තමේන්තුවට අයත් කටයුත්තක් බව හෙතෙම පෙන්වාදී තිබේ.

ඊයේ (29) දින ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව පවසා තිබේ. හමුදාව කඳවුරක් තුළ මහවිරු දින සැමරුම පවත්වා නොමැති බවත්, කඳවුරකට අසල මාර්ගයකදී සැමරුම් කටයුතු සිදුකර ඇති බව හෙතෙම පවසා තිබේ.

‘එක්තරා හමුදා කඳවුරක් ඉදිරිපිට ඔවුන් තමන්ගේ මළවුන් සිහිකිරීමේ කටයුත්තක් සිදුකර තිබෙනවා, මහවිරු දිනය සම්බන්ධව අපිට කිසිම කටයුත්තක් කරන්න නැහැ. අපි ඉන්නෙ ජාතික ආරක්ෂාව සඳහා පමණයි. එවැනි යම් කිසි නීතිවිරෝධී කටයුත්තක් කරනවාම්, කරලා තියෙනවානම් ඒ පිළිබඳව කටයුතු කිරීමේ සම්පූර්ණ අයිතිය තියෙන්නෙ නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍යාංශයට සහ පොලිස් දෙපාර්තමේන්තුවට‘ යැයි ආරක්‍ෂක ලේකම්වරයා වැඩිදුරටත් පවසා තිබේ.