SRILANKAN NEWS

රාජපක්ෂ සොහොනට කෝටි 09ක් වියදම් කිරිම පිළිබඳ ලිපිගොනු නීතිපතිට

රාජපක්‍ෂවීරකැටිය යෝජනා ක්‍රමය නමින් ව්‍යාපෘතියක් ඇතිකර ඒ යටතේ ඩී.ඒ. රාජපක්ෂ මහතාගේ හා එම මැතිණියගේ සොහොන් කොත් අලුත්වැඩියා කර නවීකරණය කිරීම සඳහා රාජයේ මුදල් රුපියල් කෝටි නවයක පමණ මුදලත් යෙදවීම සම්බන්ධව මූල්‍ය අපරාධ කොට්ඨාසය මඟින් කළ පරීක්ෂණවල වාර්තාව නීතිපතිවරයා වෙත යවා තිබේ.

එම සිද්ධියට අදාළව ඉතිරි නීතිමය පියවර ගැනීම සඳහා එම වාර්තාව මෙසේ නීතිපතිවරයා වෙත යවා ඇති බව මූල්‍ය අපරාධ කොට්ඨාස ආරංචි මාර්ග සඳහන් කරයි.

රුපියල් කෝටි නවයක් වූ රජයේ මුදල් එවකට ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පැවති ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව මඟින් ලබාගෙන එම සොහොන් කොත් නවීකරණය කිරීම සඳහා යෙදවීම සම්බන්ධව එවකට මේ සඳහා අනුමැතිය ලබාදීමට කටයුතු කළ එම අමාත්‍යාංශයේ එවකට හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියකුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අත්‍යාවශ්‍යව පවතින බවත් නීතිපති උපදෙස් මත ඉදිරියේදී එම ප්‍රකාශය ලබාගැනීමට කටයුතු කරන බවත් මූල්‍ය අපරාධ කොට්ඨාසය පවසයි.

මීට මාස ගණනාවකට ඉහතදී මූල්‍ය අපරාධ කොට්ඨාසයට ලැබුණු පැමිණිල්ලක් මත මෙම සිද්ධියට අදාළව පරීක්ෂණ ආරම්භ කෙරුණි.

එහිදී මූල්‍ය අපරාධ කොට්ඨාසයේ විමර්ශන නිලධාරීන් වීරකැටිය ව්‍යාපෘතිය නමින් වූ මෙම ඩී.ඒ. රාජපක්ෂ සොහොන් කොත් නිරීක්ෂණය සඳහා ගොස් තිබිණි. ඉන් අනතුරුව එම ව්‍යාපෘතියට සම්බන්ධ වූ නිලධාරීන්ගෙන්ද ප්‍රකාශ සටහන් කරගෙන ඇත. මෙහිදී ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් ‍කෝටි නවයක පමණ මුදලක් මෙම පෞද්ගලික කර්තව්‍යය සඳහා යොදා ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

දිනමිණ