SRILANKAN NEWS

තාජුඩීන් ඝාතනය: පරීක්ෂණයට පොලිස් නිළධාරියකුගෙන් බාධා

වසීම් තාජුඩීන්රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන සිද්ධියේ විමර්ශන කටයුතුවලට ඉහළ පොලිස් නිලධාරියකුගෙන් දැඩි බලපෑම් සිදු වන බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

මේ වන විට සිදු කෙරී ඇති විමර්ශන කටයුතුවල දී මෙම සිදුවීම හා සම්බන්ධ තවත් පුද්ගලයන් තිදෙනකු ගැන තොරතුරු හෙළිදරව් වී ඇතත් එම පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීම සඳහා යථෝක්ත ඉහළ පොලිස් නිලධාරියා කටයුතු කරමින් සිටී.

තාජුඩීන් ඝාතනය සිදු වූ අවස්ථාවේ දී ලැබී තිබෙන දුරකථන පණිවිඩ විශාල සංඛ්‍යාවක් ගැන කළ විමර්ශනයන් හි දී යථෝක්ත පුද්ගලයන් තිදෙනා ගැන තොරතුරු හෙළිව තිබේ. ඒ අතර ප්‍රභූ කාන්තාවක් ද සිටින බව හෙළි වේ.

මෙම විමර්ශන යටපත් කිරීම සඳහා කටයුතු සිදු වෙමින් පැවතීම ගැන පසුගියදා අධිකරණය හමුවේ අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කරුණු දැක්වූ අතර එහි දී  තාජුඩීන්ගේ ඝාතනයට අදාළව අරලියගහ මන්දිරය, කාල්ටන් නිවස ආදියට සම්බන්ධ දුරකථන ජාල මඟින් යම් කරුණු හෙළි වන්නේ නම් තරාතිරම නොබලා අවශ්‍ය පුද්ගලයන් කැඳවා ප්‍රශ්න කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා පසුගිය 30 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නියෝගයක් නිකුත් කළේය.

නීතිය හමුවේ කිසිදු විශේෂිත පුද්ගලයකු නොමැති බවත් නීතිය ඉදිරියේ සැවොම සමාන බැවින් ඝාතනයට අදාළ විමර්ශන කඩිනම් කරන ලෙසත් ද මහෙස්ත්‍රාත්වරයා නියෝග කර සිටියේය.

මෙහි දී අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මිස්බා මහතා පැවැසුවේ තාජුඩීන් ඝාතනය රිය අනතුරකින් නොව මිනීමැරුමක් බවට දෙවන පශ්චාත් මරණ පරීක්ෂණයෙන් ද තහවුරු වූ බවය. මේ අතර පසුගිය නොවැම්බර්26 වන දින ඕස්ට්‍රේලියාවේ ‘ද ඕස්ට්‍රේලියා’ නම් පුවත්පතක‘මහින්ද රාජපක්ෂ භූතයා හා ශ්‍රී ලංකාවේ රාජ්‍ය ත්‍රස්තවාදය’ නම් සිරස්තලය යටතේ පළ වූ දිගු ලිපියක තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් ද තොරතුරු හෙළි කර තිබිණි. තාජුඩීන්ගේ මරණය රිය අනතුරකින් සිදු වූවක් බව පෙන්වීම සඳහා එවක දේශපාලන අධිකාරිය හා නිලධාරීන් ගත් උත්සාහය ගැන එහි දී වසීම් තාජුඩීන්ගේ සොහොයුරිය එම ලේඛකයාට කරුණු හෙළිදරව් කර ඇත.

– සත්හඞ