MUSLIMS SRILANKAN NEWS

නබි නායකතුමන්ගේ උපන්දිනය වෙනුවෙන් අගමැතිගේ සුභාශිංසන පණිවුඩය

Ranil Wikramasingha 01 රනිල්නබි නායකතුමන්ගේ උපන්දිනය අද (12) දිනට යෙදී තිබෙන අතර ඒ නිමිත්තෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුභාශිංසන පණිවුඩය..

ඉස්ලාම් ආගමේ අවසන් නබිතුමන් වූ මුහම්මද් නබි නායකතුමන් දැහැමි සමාජයක් උදා කරලීම සඳහා කැපවුණු මෙහෙවරක් ඉටුකළ විශිෂ්ට ආගමික ශාස්තෘවරයෙකි.

ඉස්ලාම් දහමේ විශ්වාසය අනුව දෙවියන් වහන්සේ විසින් අවුරුදු 40 දී එතුමන් නබිතුමාණන් වශයෙන් තෝරා ගත් අතර, ඒ වන තුරුම එතුමා සරල අල්පේච්ඡ, යහපත් දිවි පෙවෙතක් ගතකරමින් ධර්මය ප්‍රායෝගිකව ජීවත් කරවමින් සිටියේය.

පරම්පරා ගණනාවක් ගෝත්‍රීක යුද්ධ පැවති මදීනා නගරයේ සාමය, සංහිදියාව, සමානාත්මතාව ඇතිකරමින් ධාර්මික පාලන ක්‍රමයකට මඟපෙන්වූ නබිනායක තුමා එමඟින් මුළු මහත් ලෝකයටම පෙන්වා දුන්නේ සහෝදරත්වය, සහජීවනය, සමානාත්මතාව, පරිත්‍යාගශීලීත්වය පදනම් කරගත් මාහැඟි ධර්ම මාර්ගයකි. ජීවන මාර්ගයකි. ප්‍රජාතාන්ත්‍රීය පාලන ක්‍රමයකි.

ඉස්ලාම් ධර්ම ප්‍රචාරණයේදී මිත්‍රශීලී හා නම්‍යශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කරමින්, වසර 23 ක කාලයක් දේශනාවෙන්, ක්‍රියාවෙන් හා පරිත්‍යාගයෙන් එතුමන් පෙන්වා දුන් ඉස්ලාම් දහමේ හර පද්ධතිය, නබි නායකතුමන්ගේ උපන්දිනය සමරන අද දවසේ අප සැමට මහත් ආදර්ශයක් වන බව විශේෂයෙන් සඳහන් කළ යුතුය.

නබිනායකතුමන්ගේ ජීවිතාදර්ශය තුළ තම ජීවිතත්, සමස්ත ලෝකයත් අරුත් ගන්වන්නට මෙම මිලාදුන් නබි උත්සවයේ දී අදිටන් කරගනිමු. ශ්‍රී ලංකාවාසී සහෝදර මුස්ලිම් බැතිමතුන් ඇතුලූ සමස්ත ලෝකවාසී මුස්ලිම් බැතිමතුන්ට සුභ මිලාදුන් නබි උත්සවයක් වේවා…!

රනිල් වික්‍රමසිංහ
අග්‍රාමාත්‍ය
2016 දෙසැම්බර් 09