SRILANKAN NEWS

තාජුඩීන් ඝාතනය – මිතුරියක‍ෙගන් ප්‍රකාශයක්

රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන්ගේ ඝාතනයට අදාළව ඔහුගේ මිතුරියක වන මිනෝලි රාධිකා පීරිස්ගේ ප්‍රකාශය මත ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වාගෙන යන බවට රහස් පොලිසිය ඊයේ (14) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ආර්. මල්ලවආරච්චි මහතා වෙත දැනුම් දුන්නේය.

තාජුඩීන්ගේ මිතුරිය ඉකුත් 10 වන දින රහස් පොලිසිය වෙත කැඳවා ප්‍රකාශයක් ලබා ගත් අතර ඇය ඒ වන විටත් විදේශගතව සිටි බවත් සිය මිතුරෙකු මාර්ගයෙන් තාජුඩීන්ගේ මරණය සම්බන්ධව දැන ගත් බව පවසමින් ඇය ප්‍රකාශයක් ලබා දී ඇති අතර එම ප්‍රකාශය මඟින් අනාවරණය වූ කරුණු මත තවදුරටත් විමර්ශන පවත්වන බවට රහස් පොලිසිය අධිකරණය හමුවේ පැවසීය.

මේ අතර, වසීම් තාජුඩීන් ඝාතනය වූ 2012.06.16 වැනිදා රාත්‍රි ඔහු ගමන් කළ වාහනය පිටුපසින් සැක සහිත ලෙස ධාවනය වූ වාහනයක්‌ පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇති බැවින් ඒ ඔස්‌සේ දීර්ඝ ලෙස පරීක්‍ෂණ සිදුකරන්නේ යෑයි පැමිණිල්ල මෙහෙය වන රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ඩිලාන් රත්නායක මහතා අධිකරණය හමුවේ පැවසීය.

එකී ඝාතනය සිදුවූ දින ජනාධිපති ලේකම් කාර්යාලයෙන් හා ජනාධිපති මන්දිරයෙන් නාරාහේන්පිට පොලිස්‌ ස්‌ථානයේ ස්‌ථානාධිපතිවරයාට ලැබුණ දුරකථන ඇමතුම් පිළිබඳවද විමර්ශන සිදුකරන්නේ යෑයිද රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා එහිදී වැඩිදුරටත් අධිකරණයට පෙන්වා දුන්නේය.

එම කරුණු සලකා බැලූ අතිරේක මහෙස්‌ත්‍රාත්වරයා හිටපු නියෝජ්‍ය පොලිස්‌පති අනුර සේනානායක හා පොලිස්‌ පරීක්‍ෂක සුමිත් පෙරේරා යන සැකකරුවන් දෙදෙනා ලබන 26 වැනිදා දක්‌වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාර භාරයට පත්කිරීමට නියෝග කළේය.