SRILANKAN NEWS

මැලේසියාව සහ ශ්‍රී ලංකාව අතර ගිවිසුම් පහකට අත්සන් තැබේ..

ශ්‍රී ලංකාවේ නව ආයෝජන රැසකට මැලේසියාව සූදානම් බව මැලේසියා අග‍්‍රමාත්‍ය අබ්දුල් රසාක් මහතා පවසයි.

මැලේසියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ මැලේසියා අග‍්‍රාමාත්‍ය අබ්දුල් රසාක් මහතා අතර නිල හමුව ඊයේ (16) පෙරවරුවේ මැලේසියා අග‍්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදු කෙරුණු අතර එහිදී මැලේසියා අග‍්‍රාමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කළේය.

එහිදී ද්වි පාර්ශවික සාකච්ඡා ආරම්භ කෙරුණු අතර විදේශ රැකියා, තරුණ සංවර්ධන, සංචාරක, සංස්කෘතික හා කෘෂිකාර්මික ක්ෂේත‍්‍රවලට අදාළ ගිවිසුම් 05 කට එහිදී දෙරටේ නායකයින් ඉදිරියේ අත්සන් තැබිණි.

මෙහිදී අදහස් දැක්වු ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේ රට තුළ සංහිඳියාව ගොඩනැඟීම සහ ස්ථාවර ආර්ථික සංවර්ධනයක් ඇති කිරීම යන කරුණු දෙක තම ප‍්‍රමුඛ අභිලාෂයන් බවයි. රටේ සංහිඳියා වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට රජය කැපවී සිටින අතර ස්ථාවර ආර්ථික සංවර්ධනයක් ඇති කිරීම සඳහා සියලු හිත මිතුරු විදේශ රාජ්‍යයන්හි සහය ලබා ගනිමින් කටයුතු කරමින් සිටින බව ජනාධිපතිවරයා පවසා සිටියේය.

ශී‍්‍ර ලංකාව සහ මැලේසියාව අතර අත්සන් තැබුණු නව ගිවිසුම් තුළින් දෙරට අතර සංචාරක, අධ්‍යාපන සහ කෘෂිකර්ම මෙන්ම විදේශ රැකියා ක්ෂේත‍්‍රවල නව සබඳතා රැසක් ගොඩනැගෙනු ඇති බව පැවසු ජනාධිපතිතුමා ලංකාවේ සිසුන්ට මැලේසියාව තුළ අධ්‍යාපනය ලැබීමේ අවස්ථා පුළුල් කිරීමේ නව ක‍්‍රමවේදයක් සකසන ලෙස ද මැලේසියා අග‍්‍රාමාත්‍යවරයා වෙත යෝජනා කළේය.