SRILANKAN NEWS

මහ බැංකු බැඳුම්කර වංචා දූෂිතයින් ආරක්ෂා කිරීමට ආණ්ඩුව උත්සහ කරනවා – සුනිල් හඳුන්නෙත්ති

රට තුළ මහත් අාන්දෝලනයකට ලක්ව අැති මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළ වරදකරුවන් ආරක්ෂා කිරීමට වත්මන් ආණ්ඩුව උත්සාහ කරන බවට සැක මතුව ඇති බව ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කර සිටියි.

ජනතා විමුක්ති පෙරමුණූ පාර්ලිමේන්තු මන්ත්‍රී, කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් මෙම අදහස් පළ කරන ලද්දේ ඊයේ (26) බත්තරමුල්ලේ එම පක්ෂ කාර්යාලයේදී පවත්වන ලද මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

“අපට පෙනෙන්නට තිබෙන්නේ පාර්ලිමේන්තුව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට යන බවකුයි. එහි අනුකාරක සභාවල වාර්තා සාකච්ඡා කිරීමට සූදානම් වෙනවා. මේ වන තෙක් පාර්ලිමේන්තුව කෝප් වාර්තාව සාකච්ඡා කිරීමට දිනයක් යොදා ගෙන නැහැ. ඒ නිසා තමයි මම පසුගියදා කථානායකතුමාගෙන් ඉල්ලීමක් කළේ පාර්ලිමේන්තුව වෙනුවෙන් කථානායකතුමා කඩිනමින් පළමු පාර්ලිමේන්තු සැසිවාරය තුළම ක‍්‍රියාමාර්ගයක් ගන්නා ලෙස. යම් හෙයකින් මෙම ක‍්‍රියාවලිය ප‍්‍රමාදවුවහොත් එසේ වන්නේ ඇයිදැයි ජනතාවට සැකයක් ඇතිවිය හැකියි. මේ නිසා තමයි, කෝප් වාර්තාව නිකුත් වීමෙන් පස්සෙ 2016.11.09වැනිදා අපි පක්ෂයක් විදිහට ගතයුතු කඩිනම් ක‍්‍රියාමාර්ග විදිහට යෝජනාවලියක් රට හමුවේ තැබුවේ. මේ බැඳුම්කර ගනුදෙනුවේ වරදකරුවන් ආරක්ෂා කිරීමට ආණ්ඩුව උත්සාහ කරන බවට අපට සැකයක් තිබෙනවා.” යැයි හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.

මෙම අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කමිටු සාමාජික, බස්නාහිර පළතා සභා මන්ත්‍රී, නීතිඥ සුනිල් වටගල මහතාද සහභාගි වී අදහස් දක්වන ලදී.