SRILANKAN NEWS

ලංකාවේ කිසිම තැනකදී අන්තවාදයට ඉඩක් නැහැ – මනෝ ගනේෂන්

ලංකාවේ කිසිම තැනකදී අන්තවාදයට හිස එසවීමට තවදුරටත් ඉඩ නොදෙන බව ජාතික සහජීවනය, සංවාදය සහ රාජ්‍ය භාෂාව පිළිබද අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි. ඒ මහතා මේ බව කියා සිටියේ ලොව විශාලතම කෘත්‍රිම නත්තල් ගස තෙවැනි දිනයට විවෘත කරමිනි.
“මේ නත්තල් ගස නිර්මාණය කරන්න සිංහල, දෙමළ, ක්‍රිස්තියානි, කතෝලික සහ මුස්ලිම් සහෝදරවරුන් විශාල දායකත්වයක් ලබා දී තිබෙනවා.
අපේ ආණ්ඩුව ගෙනයන ජාතික සහජීවන හා සංහිඳියා වැඩපිළිවෙලේ ප්‍ර‍තිඵලයක් තමයි මේ. ඒ හැරෙන්නට අපේ රටේ වෙන ගමනක් දැන් නැහැ. බෞද්ධ උත්සව අවස්ථාවේදී අපි උදව් කරනවා, මුස්ලිම්, හින්දු සහෝදරවරුන්ට අපි උදව් කරනවා. මේක තමයි අපිට අවශ්‍ය. මේ රටේ ජාතිවාද නැහැ, අන්තවාද නැහැ. ත්‍ර‍ස්තවාද නැහැ, බෙදුම්වාද නැහැ. තවත් ඒ දේවල් වලට ඔළුව උස්සන්න ඉඩ දෙන්නේ නැහැ. මනෝ ගනේෂන්ලා, අර්ජුන රණතුංගලා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සහ රනිල් වික්‍ර‍සිංහ අගමැතිතුමා සමග අත්වැල් බැඳගෙන ඉන්නේ ඒ සඳහායි.
උතුරෙත්, දකුණෙත් කිසිම තැනක අන්තවාදයට ඉඩක් නැහැ, ජාතිවාදයට බෙදුම්වාදයට ත්‍ර‍ස්තවාදයට ඉඩක් නැහැ. අපි දෙමළ වේවා, සිංහල වේවා, මුස්ලිම් වේවා පළමුව අපි ශ්‍රී ලාංකිකයින් ලෙස සිතිය යුතුයි. ඒක අමතක කරන්න එපා. බලන්න අද මෙතන කොච්චර ලස්සනද ? සිංහල, දෙමළ, කතෝලික, මුස්ලිම්, සියලුම දෙනා රැස්වෙලා අද මේ කතෝලික උත්සවය සමරනවා. මේක අපේ සිහිනය. මේක අපේ බලාපොරොත්තුව. මේ රටේ කොතනකවත් එකම ජාතියකට, එකම භාෂාවකට, එකම ආගමකට අයිතිවෙච්ච තැනක් නැහැ. සියලුදෙනාට මේ රට අයිතියි.  සියලුදෙනාම  මේ රටේ රජ්ජුරුවෝ……” යැයිද අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පැවසීය.