SRILANKAN NEWS

හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායක මහතාගේ අභාවය වෙනුවෙන් අගමැතිගේ ශෝක පණිවුඩය..

ශ්‍රී ලංකාවේ හිටපු අග්‍රාමාත්‍යවරයකු මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨතම සාමාජිකයකු වූ රත්නසිරි වික්‍රමනායක මැතිතුමා කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ජාතික දේශපාලනයට පිවිසි ප්‍රතිපත්තිගරුක, කීර්තිමත් දේශපාලඥයෙකි.

මා අග්‍රාමාත්‍ය ලෙස කටයුතු කරන අවස්ථාවේ එතුමා විපක්ෂ නායක ලෙස ද, එතුමා අග්‍රාමාත්‍ය ධූරය දැරූ අවදියේ මා විපක්ෂ නායක ලෙස ද ආදී වශයෙන් අවස්ථා ගණනකදීම පක්ෂ දේශපාලනයෙන් බැහැරව ඉතා සුහදශීලීව රත්නසිරි වික්‍රමනායක මැතිතුමා සමඟ වැඩ කිරීමට හැකි වීම මා ලද භාග්‍යයක් ලෙස සලකමි.

මේ සෑම අවස්ථාවකම ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන, පාර්ලිමේන්තු සම්ප්‍රදායන් සුරකින පරිණත දේශපාලඥයෙකු ලෙස එතුමාගේ ප්‍රතිපත්තිගරුක බව විශේෂයෙන් කැපී පෙනුණි.

විශේෂයෙන්ම රටේ සමාජ, දේශපාලන අභිවෘද්ධිය වෙනුවෙන් මෙන්ම හොරණ ප්‍රදේශයේ දියුණුව වෙනුවෙන් ද මහත් කැපවීමෙන් කටයුතු කළ එතුමා, ප්‍රදේශයේ ජනතාවගේ ආදරය, ගෞරවය දිනාගත් ජන නායකයකු වූ බව මේ මොහොතේ මහත් ගෞරවපූර්වකව සිහිපත් කරමි.

රත්නසිරි වික්‍රමනායක මැතිතුමාගේ අභාවයෙන් ශෝකයට දූ දරුවන්, ඥාති හිත මිත්‍රාදීන් වෙත මාගේ බලවත් ශෝකය ප්‍රකාශ කරමින් එතුමාට අමා මහ නිවන් සුව අත්වේවායි ප්‍රාර්ථනය කරමි.