SRILANKAN NEWS

හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායක මහතාගේ අභාවය වෙනුවෙන් ජනපතිගේ ශෝක පණිවුඩය..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යම් අභියෝගයන්ට ලක් වූ හැමවිටම පක්ෂය වෙනුවෙන් උපරීමයෙන් කැපවීම හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායක මහතාගේ ප්‍රතිපත්තිගරුක දේශපාලනය තුළ දැකිය හැකි සුවිශේෂ ලක්ෂණයක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ මහතාගේ අභාවය වෙනුවෙන් ශෝක පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

“විසිවැනි සියවසේ මැද භාගයේ ලාංකීය දේශපාලනයට පිවිසි ග්‍රාමීය ප්‍රභූ නායකත්වයේ, ප්‍රමුඛ නියෝජනයක් සංකේතවත් කළ පරිණත දේශපාලඥයෙකු, හිටපු අග්‍රාමාත්‍යවරයයෙකු සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ලේකම්වරුයෙකු වන රත්නසිරි වික්‍රමනායක මහතාගේ අභාවය සැළව සාතිශය සංවේගයට පත් වූයෙමි.

රත්නසිරි වික්‍රමනායක මහතා ලාංකීය දේශපානය තුළ අනන්‍යගත වන්නේ සෘජුව අදහස් පළකළ දේශපාලනඥයෙකු ලෙසිනි. මහජන එක්සත් පෙරමුණෙන් ක්‍රියාකාරී දේශපාලනයට පිවිසෙන ඒ මහතා 1960දී පාර්ලිමේන්තුවට තේරී පත්වන අතර එම දශකයේ මුල් භාගයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්ව අමාත්‍ය ධූර දරමින් අග්‍රාමාත්‍ය පදවිය දක්වා සාර්ථක දේශපාලන ගමන් මගකට අවතීරණ විය.

පසුකාලීනව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති ධූරයට ද පත්වන රත්නසිරි වික්‍රමනායක මහතා අභාවප්‍රාප්ත වන විට ජනාධිපති ජ්‍යෙෂ්ඨ දේශපාලන උපදේශක ධූරයට දරමිණි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසකවරයෙකු ලෙස ද කටයුතු කළේය.

රත්නසිරි වික්‍රමනායක දේශපාලන භූමිකාවේ දීප්තිමත් අවධීන් සලකුණු කෙරෙනුයේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ මේ දක්වා පැමිණි ගමනේදීය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යම් අභියෝගයන්ට ලක් වූ හැමවිටම පක්ෂය වෙනුවෙන් උපරීමයෙන් කැපවීම මේ ප්‍රතිපත්තිගරුක දේශපාලනඥයාගේ ගරු කටයුතු දේශපාලනය තුළ දැකිය සුවිශේෂ ලක්ෂණයකි.

අප සමඟ බෙහෙවින් සමීපව පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් පෙනී සිටි මේ පුරෝගාමී දේශපාලනඥයාගේ අභාවය පිළිබඳ ව ඒ මහතාගේ ආදරණීය බිරිඳටත්, පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතාටත්, හොරණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂිකයින්ටත් මගේ සංවේගය පළ කරන අතර ම අභාවප්‍රාප්ත රත්නසිරි වික්‍රමනායක මහතාට අමාමහා නිවන් සුව ප්‍රාර්ථනා කරමි.”