MUSLIMS SPORTS

අසිපතත්, හිජාබයත් ගෙන ඔලිම්පික් ගිය ඉබිතිහාජ්

6bee4313e118c9aa7f8e093a7e7b089f_L_CIවිවිධ අයුරින් ඉතිහාසයට එක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙවර ඔලිම්පික් උළෙලට එක්ව තිබේ. විවිධ බාධක කම්කටොලු ඔස්සේ ගමන් කළ ධෛර්ය සම්පන්න ක්‍රීඩිකාවන් මේ අතරින් සුවිශේෂී ස්ථානයක් ගනියි.

ඉබිතිහාජ් මුහම්මද් ද එලෙස ඉතිහාසගත වන කාන්තාවකි.

එක අතකින් අසිපතක් හා අනෙක් අතින් ඉස්ලාම් සාම්ප්‍රදායත් ගෙන, මුස්ලිම් කාන්තාවන් වටා ගෙතී ඇති සමාජ මත බිඳීමට ඉබිතිහාජ් උත්සහ කරයි.

ඇය මෙවර ඔලිම්පික් තරගාවලියට එක්වන්නේ ලොව ශක්තිමත් ම ක්‍රීඩා කණ්ඩායමක් වන ඇමෙරිකානු කණ්ඩායම සමගයි.

ෆෙන්සින් ක්‍රීඩාවෙන් සිය දේශය නියෝජනය කරන ඇය, ඇමෙරිකානු කණ්ඩායමේ පළමු මුස්ලිම් ඔලිම්පික් ක්‍රීඩිකාව ලෙස ඉතිහාසගතවී අවසන්ය. එම කණ්ඩායම තුළ හිජාබය පැළඳ සිටින එකම ක්‍රීඩිකාව ඇයයි.

ඇමෙරිකාවේ නිව් ජර්සි හි උපත ලැබ එහි හැදී වැඩුනු ඉබිතිහාජ්, ෆෙන්සින් ක්‍රීඩාව තෝරා ගැනීමට හේතුවන්නේ ද එම ක්‍රීඩාවට අඳින ඇඳුම් ආයිත්තම් වලින් සිය ආගමික විශ්වාසය නොබිඳෙන හෙයිනි.

මේ වන විට ලොව අංක 08 ෆෙන්සින් ක්‍රීඩිකාව වන ඇය, පසුගිය ජුනි මාසයේදී පෑන් ඇමෙරිකානු ශූරතාවයේදී රන්පදක්කම් ද දිනාගැනීමට සමත්විය. තවද, ඇය ග්‍රීසියේ හා ප්‍රංශයේ පැවති පසුගිය ලෝක කුසලාන තරගාවලි වලදී ද ලෝකඩ පදක්කම් දිනාගත්තාය.

මේ වසර මුලදී, ඔලිම්පික් තරගාවලියට තරග කිරීමට වරම් ලැබීමත් සමග ඉබිතිහාජ් දෙසට මාධ්‍ය ඇස යොමු විය. සාමාන්‍යයෙන් ෆෙන්සින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් නොලබන අවධානයක් ඇයට හිමිවිය.

මේ සමග ටයිම්ස් සඟරාව විසින් ලොව වඩාත් බලගතු පුද්ගලයන් 100 අතරට ද (100 most influential people) ඇයව නම් කර තිබුණු අතර, වීසා ක්‍රෙඩිට් කාඩ් සමාගමේ වෙළඳ ප්‍රවර්ධන වැඩසටහන් වලට ද ඇයව එක්කරගෙන තිබුණි.

ඊට අමතරව, මේ වසරේ රාමදාන් උත්සවය සැමරීමට ධවල මන්දිරයේ පැවති උත්සවයකටද ඇය ආරාධනා ලබා තිබුණු අතර, ඇමෙරිකානු ජනපති ආර්යා මිෂෙල් ඔබාමා හට ද ඇය පසුගියදා ෆෙන්සින් පාඩමක් ලබා දුන්නාය.

උපතින් ඇමෙරිකානු ජාතිකයෙකු වුවත්, ඇගේ මුස්ලිම් සම්භවය හේතුවෙන් ඇයට ගැටළු වලට ද මුහුණපෑමට සිදුවිය. වරක්, ටෙක්සාස් ප්‍රාන්තයේ පැවති ෆෙන්සින් තරගාවලියක් අතරදී ඇගේ හිජාබය ඉවත් කරන මෙන්

ඉබිතිහාජ් හට පවසා තිබුණි. පසුගිය අප්‍රේල් මාසයේ දී ඇගෙන් පුද්ගලයෙකු අසා තිබුනේ ඇය විසින් බෝම්බයක් පුපුරවාගැනීමට සැරසෙන්නේ ද යන්නයි.

“මුස්ලිම් තරුණ පරපුරට පමණක් නෙමෙයි… තමන් අනින් අයට වඩා වෙනස් නිසා ඔවුන් නොගැලපෙන බව සමාජයෙන් අහලා තියෙන හැම දරුවෙකුටම ආදර්ශයක් වෙන්න පුළුවන්නම්… වඩාත් ක්‍රියාශීලි වෙන්න කියලා කාන්තාවන් ව දිරිගන්වන්න පුළුවන්නම්… ඒක ධනාමක දෙයක්,” යැයි ඇය බීබීසී ක්‍රීඩා සේවයට කියා සිටියි.

“මුස්ලිම් කාන්තාවන් සම්බන්ධයෙන් පවතින වැරදි මතවාද අභියෝග කිරීමට මම කටයුතු කරනවා. මට ඔප්පු කරලා පෙන්නන්න ඕන අපිට නිකම් ඔලිම්පික් කණ්ඩායමකට නෙමෙයි, ලෝකේ බලවත්ම ඔලිම්පික් කණ්ඩායමක් වෙන ඇමෙරිකානු කණ්ඩායමට එක්වෙන් පුළුවන් කියලා…,” යැයි ඉබිතිහාජ් අවසන් වශයෙන් කියයි.

– Thanks sinhala.srilankamirror.com
– ග්ලෝබල් දෙමළ පුවත් –