SRILANKAN NEWS

කිලිනොච්චිය මහවිරු සුසාන භූමියේ පොදු සමාධියක් ඉදි කිරීමේ කටයුතු පොලිසිය විසින් නවතා දමයි..

කිලිනොච්චිය කනකපුරම් මහවිරු සුසාන භූමියේ පොදු සමාධියක් ඉදිකිරීමේ කටයුතු අද බ්‍රහස්පතින්දා දින ආරම්භ කර තිබුණි. අද දින මහවිරු සුසාන භූමියට පැමිණි මහවිරුවන්ගේ ඥාතීන් සහ හිටපු කොටි සාමාජිකයන් කිහිප දෙනෙකු එක්ව මෙලෙස සමාධියක් ඉදිකිරීමට තීරණය කර තිබේ.

මෙවැනි තත්වයකදී පස්වරුවේ කනකපුරම් සුසාන භූමියට පැමිණි කරයිච්චිය ප්‍රදේශිය සභා ලේකම් ක. කම්සනාදන් තම අනුමැතියකින් තොරව එහි කිසිඳු කටයුත්තක් සිදු නොකළ යුතු බවට නියෝග කර තිබේ.

එයට විරෝධය පළ කළ මහවිරුවන්ගේ ඥාතීන් සහ හිටපු කොටි සාමාජිකයන් මෙය ප්‍රාදේශිය සභාවට අයත් ඉඩම් නොමැති බව පෙන්වාදුන් අතර, මෙතෙක් කාලයක් හමුදාව මෙහි ගොඩනැගිළි ඉදිකළ විට ඔබලාගේ ප්‍රාදේශිය සභාව සහ නීතිය තිබුණේ කොහෙදැයි ප්‍රශ්ණ කරමින් සමාධිය ඉදිකිරීමේ කටයුත්ත දිගටම සිදුකරගෙන ගොස් තිබේ.

අනතුරුව කිලිනොච්චිය නියෝජ්‍ය පොලිස් අධ්‍යක්‍ෂකවරයා ඇතුළු කිලිනොච්චිය පොලීසිය අදාළ ස්ථානයට පැමිණි අතර, පොදු සමාධිය ඉදිකළ පිරිස සමඟ සාකච්ඡා කළහ. එහිදී කිලිනොච්චිය සිට 119 දුරකථනයට ලැබුණු ඇමතුමකට අනුව මහවිරු සුසාන භූමියේ නීතිවිරෝධි ලෙස ඉදිකිරීමක් සිදුවන බවට ලැබුණු පැමිණිල්ලක් ගැන සොයා බැලීමට මෙහි පැමිණි බවත්, මේ සම්බන්‍ධයෙන් කිලිනොච්චිය පොලිසියට පැමිණ කරුණු සඳහන් කරන ලෙසත්, එතෙක් මෙම ඉදිකිරීම් කටයුතු අත්හිටුවන ලෙස පොලීසිය නියෝග කර තිබේ.