SRILANKAN NEWS

GSP + සහනය ලබන සතියේ ස්ථීරවම ශී‍්‍ර ලංකාවට ලැබේ – ජනපති

මෙරට කර්මාන්ත ක්ෂේත‍්‍රයේ සහ අපනයන ක්ෂේත‍්‍රයේ සුවිශේෂී හැරවුමක් සනිටුහන් කරමින් GSP + සහනය ලබන සතියේ ස්ථීරවම ශී‍්‍ර ලංකාවට ලැබෙන බවට තොරතුරු ලැබී ඇති බව ජනපති පවසයි.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව ප‍්‍රකාශ කළේ මහනුවර, හල්ඔළුව, දොඩංවල පාලම ජනතා අයිතියට පවරාදීමේ උත්සවයට (07) පෙරවරුවේ එක් වෙමිනි.

රටක් ලෙස ඉදිරියට යාමට තිබූ බොහෝ බාධාවන් ඉවත් කර ගනිමින් සියලු රාජ්‍යයන් සමග මිත‍්‍රශීලිත්වයක් ගොඩනගාගැනීමට ඉකුත් දෙවසර තුළ වත්මන් රජයට හැකිවූ බව පැවසූ ජනාධිපතිතුමා එහි ප‍්‍රතිලාභ දැන් මාතෘභූමියට ලැබෙමින් තිබෙන බව ද කියා සිටියේය.

සංවර්ධනය පිළිබඳ උදම් අනනවා සේම එම සංවර්ධනය සමග රටට ලැබුණු මහා ණය බර පිළිබඳවද අවධානය යොමු කළ යුතු බව පැවසූ ජනාධිපතිතුමා තවත් අතිවිශාල වශයෙන් ණය ලබාගනිමින් මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති කි‍්‍රයාත්මක කර ජනපි‍්‍රයත්වයට පත්වීමට වත්මන් රජයට ද හැකි නමුත් මහා ණය සම්භාරයක් රටට උරුම කර දී රටේ අනාගතය අඳුරු කිරීමට තම රජය කිසිසේත් සූදානම් නොමැති බවත්, මහා ණය බර සමග ලෝකයේ විවිධ රටවල්වලට මුහුණදීමට සිදු වූ ඛේදවාචකයන් අප සැලකිල්ලට ගත යුතු බවත් කියා සිටියේය.