SRILANKAN NEWS

ජනාධිපතිතුමන්ගේ තෛපොංගල් දින පණිවුඩය

මානව ප්‍රගමනයේ අරුණෝදයේ සිට පාරිසරික සාධක සමග ලෙංගතු ගනුදෙනුව නිරත වූ මිනිසා සොබාදහමේ සමස්තය නියෝජනය කළ සූර්යයා වෙනුවෙන් දැක් වූ අමරිමිත භක්තිය, පරිණාමය කරා පැමිණ ගමනේදී ද අත් නොහළේය.

ලොව පුරා වෙසෙන දෙමළ ජාතිකත්වයත් හින්දු දහමත් වෙතින් සුපෝෂිත දෙමළ ජනතාව එදා මෙදා තුර දේවත්වයෙන් ඇදහූ සූර්යයා වෙනුවෙන් දක්වන විරාගත චාරිත්‍ර අතර ඉහළින් බැබළෙනුයේ තෛපොංගල් උත්සවය යි. මිනිසා සහ සොබාදහම අතර වන සංවේදී කෘතවේදීත්වයෙන් වර්ණවත් වන තෛපොංගල් දිනය ආධ්‍යාත්මිකව ඔවුන්ගේ ජීවිත නැවුම් සිතිවිලිවලත් අලුත් කරන සංක්‍රාන්තිමය අවස්ථාවක් ද වේ.

කෙත, කමත සරුසාර වැස්ස ලබාදීමට මුල්වන සූර්යයා ප්‍රමුණ පරිසරය මෙන්ම ගොවිබිමට සවියත්, ජීවිතයට පස්ගෝරසත් ලබාදෙන ගව සම්පත විශයෙහි ද සිය භක්තිය සහ ගෞරවය පිරිනැමීමට දෙමළ ජනතාව තෛපොන්ගල් දිනය ඉවහල කර ගැනීමෙන් ඔහුගේ කෘතවේදීත්වයේ පුළුල් පරාසය විදහා දැක්වේ.

මිනිසා සහ විශ්ව දායාදයන් අතර අන්‍යොන්‍ය සම්මුතිය යාවත්කාලීන කරනු ලබන මෙවන් සංස්කෘතිකමය ප්‍රකාශනයන් ඔස්සේ විචිත්‍ර වනුයේ ඔහුගේ පුළුල් හද මඩල තුළ රැදී උත්කෘෂ්ඨ දැක්මය.

තිරසර යුගයක් කරා ලෝකය නව ගමන් මගකට ප්‍රවේශ වන මොහොතේ තෛපොන්ගල් උළෙල අනාදිමත් ඉතිහාසයක් පුරා රැගෙන ආ චිරාත් කාලීන පණිවුඩය වඩ වඩාත් උත්කර්ෂවත් වනු නිසැකය.

සහෝදර දෙමළ ජනතාවටත් රටටත් සෞභාග්‍යය සතුට පිරිවැරූ තෛපොන්ගල් උළෙලකට ශුභාශිංසන පිරිනමමි.

මෛත්‍රීපාල සිරිසේන
ජනාධිපති

Thaipongal -  Sin