SRILANKAN NEWS

ජාතික ආර්ථික වැඩ කටයුතුවලට ස්විට්සර්ලන්තය සහාය ලබාදීමට සූදානම් – ස්විට්සර්ලන්ත ජනාධිපතිනි

සාමය හා සෞභාග්‍ය සපිරි, සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් බිහි කරලීම උදෙසා වත්මන් රජය ගෙනුයන ලබන තිරසර සංවර්ධනය ඉලක්ක කරගත්, ජාතික ආර්ථික වැඩ සැලසුම ඉතා විශිෂ්ඨ බව අවධාරණය කළ ස්විට්සර්ලන්ත ජනාධිපතිනි ඩොරිස් ලෙතාඩ් (HE Doris Leuthard) මහත්මිය, ඒ සඳහා ශ්‍රී ලංකාව ගෙනයනු ලබන ක්‍රියා පිළිවෙතට ස්විට්සර්ලන්තයේ උපරිම සහය ලබා දීමට සූදානම් බව ද ප්‍රකාශ කළාය.

18 වන දා පෙරවරුවේ ස්ව්ට්සර්ලන්තයේ ඩවොස් නුවර ජනාධිපති නිවසේ දී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ දූත පිරිස හමුවෙමින් ලෙතාඩ් මහත්මිය වැඩිදුරටත් පැවසූයේ ශ්‍රී ලංකාව සමග සබඳතා තව තවත් තහවුරු කර ගනිමින්, අනාගතයේ වඩාත් සමීපව ක්‍රියා කිරීමට තමන් අපේක්‍ෂා කරන බවය.

වත්මන් රජය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය තහවුරු කරලීම සඳහා ගෙන ඇති ධනාත්මක පියවර අතිශයින් අගය කරන බව ද ස්විට්සර්ලන්ත ජනාධිපතිවරිය පැවසුවාය.

මේ හමුවේදී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා බලගතු ශ්‍රී ලංකාවක් බිහිකරලීම සඳහා රජය ක්‍රියාත්මක කරලීමට බලාපොරොත්තු වන ජාතික ආර්ථික වැඩ පිළිවෙල හා තිරසර සංවර්ධන සැලසුම පිළිබඳව දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කළේය. මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වය යටතේ සම්මුතිවාදී ජාතික ආණ්ඩුව මෙතෙක් ඉටු කළ සාධනීය පියවර පිළිබඳව ද වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවේ ආර්ථික, සමාජයීය සහ රාජ්‍ය අංශයන්හි ප්‍රතිසංවිධාන කාර්යයන් උදෙසා මෑතක සිට ස්ව්ට්සර්ලන්තය ලබා දෙන සහය පිළිබඳව ද වික්‍රමසිංහ මහතා සිය ස්තුතිය පළ කළේය.

අපරාධ සම්බන්ධ නීතිමය ප්‍රතිසංස්කරණ, පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ ශක්‍යතා වර්ධනය, ව්‍යවස්ථාමය කරුණු පිළිබඳ විශේෂඥ උපදෙස් ආදිය සම්බන්ධයෙන් ස්වට්සර්ලන්තය ලබා දුන් දායකත්වය පිළිබඳව ද වික්‍රමසිංහ මහතා සිය ප්‍රසාදය පිරිනැමීය.

නුදුරු අනාගතයේ දී ශ්‍රී ලංකා ආයෝජන සමුළුවක් ස්විට්සර්ලන්තයේ පැවැත්වීම අපේක්‍ෂා කරන බවද ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ස්ව්ට්සර්ලන්තය කේන්ද්‍ර කරගත් නෙස්ලේ වැනි සමාගම් ශ්‍රී ලංකාව තුළ සිදු කරන ආයෝජන සහ මෙහෙයුම් පිළිබඳව කරුණු පැහැදිලි කළ ස්විට්සර්ලන්ත ජනාධිපතිවරිය, ලාංකේය ආයුර්වේද ප්‍රතිකාර ස්ව්ස් ජාතිකයන් අතර බෙහෙවින් ජනප්‍රිය බව ද ප්‍රකාශ කළාය.

ලෝක දේශපාලන හා ආර්ථික ප්‍රවණතාවන් හා ලෝක ආර්ථික සමුළුව හරහා සිදුවන සේවාවන් සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් හුවමාරු කර ගැනිණි.

මුදල් අමාත්‍ය රවි කරුණානායක, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, ජිනීවා හි ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආරියසිංහ සහ අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි යන මහත්වරුන් ද මේ සාකච්ඡාවට සහභාගී වූහ.