SRILANKAN NEWS

පාසල්වලට දරුවන් ඇතුළත් කිරීමේදී මුදල් රැස්කරන අයට එරෙහිව නීතිමය පියවර ගැනේ – අකිල විරාජ්

පාසල්වලට දරුවන් ඇතුළත් කිරීමේ දී හා වෙනත් කටයුතු සඳහා චක‍්‍රලේඛ උල්ලංඝණය කරමින් මුදල් රැස් කරන විදුහල්පතිවරුන්ට හා නිලධාරීන්ට එරෙහිව නීතිය අකුරටම කි‍්‍රයාත්මක කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

පාසල්වලට දරුවන් ඇතුළත් කිරීමේ දී චක‍්‍රලේඛයන්ට පටහැනිව නීතිවිරෝධී ලෙස මුදල් අයකිරීම් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය දැඩිව නීතිය කි‍්‍රයාත්මක කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

පාසල්වල මුදල් එකතු කිරීම සම්බන්ධයෙන් නීතිගත තත්ත්වයක් ඇති කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 2015 වසරේ දී 5/2015 චක‍්‍රලේඛය නිකුත් කිරීමට පියවර ගත්තේ පාසල්වල විවිධ වැඩසටහන්, ව්‍යපෘති ඉදිරිපත් කරමින් පාසල් සිසු සිසුවියන් ගෙන් හා දෙමාපියන් ගෙන් මුදල් අය කිරීම, ආදි ශිෂ්‍ය සංගම් විසින් විවිධ ව්‍යාපෘති සඳහා සිදු කරන මුදල් සහ භාණ්ඩ එකතු කිරීම් මෙන් ම වෙනත් මුල්‍ය එක්රැස් කිරීම් පිළිබඳව දෙමව්පියන් විසින් ඉදිරිපත් කරන ලද පැමිණිළිවලට අනුවය.

අදාළ චක‍්‍රලේඛයට අනුව පාසල් සිසුන් ගෙන් හෝ මව්පියන් ගෙන් මුදල් අයකිරීම සපුරා තහනම් කර ඇති අතර මෙකී නියෝගය පැහැර හරිමින් කි‍්‍රයා කරන අවස්ථාවන් වෙතොත් ඒ සඳහා විදුහල්පති සෘජුව වගකිවයුතු අතර එවැනි මුදල් අයකිරීම හෝ එක්රැස්කිරීම උදෙසා කිසිදු පුද්ගලයෙකුට අවසර දීම, සෘජුව හෝ වක‍්‍රව සිදු නොකළ යුතුයි. යම් හෙයකින් අමාත්‍යාංශ ලේකම්වරයාගේ අවසරයකින් තොරව මෙවැනි මුදල් අයකිරීමක් සිදු වුවහොත් අදාළ පුද්ගලයාට එරෙහිව දැඩි කි‍්‍රයාමාර්ග ගනු ලබන බව ද පැවැසේ.