SRILANKAN NEWS

තම ඉඩම් නිදහස් කරන්නැයි ඉල්ලා කේප්පාපිලවු ජනතාව අඛණ්ඩ සත්‍යග්‍රහයක

මුල්ලතිව් කේප්පාපිලවු ප්‍රදේශයේ ජනතාව තම ඉඩම් වහාම නිදහස් කරන ලෙස ඉල්ලා ආරම්භ කළ සත්‍යග්‍රහය අද තෙවන දිනටත් සිදුකරයි. කේප්පාපිලවු ගුවන් හමුදා කඳවුර ඉදිරිපට මෙලෙස සිය සත්‍යග්‍රහය ආරම්භ කර තිබේ.

යුද්දය පැවැති කාලයේ අවතැන්ව ගිය ජනතාවගේ ඉඩම් අත්පත්කරගෙන සිටින හමුදා එහි හමුදා සහ ගුවන් හමුදා කඳවුරු ඉදිකරගෙන තිබේ. මෙවැනි තත්වයකදී එම ප්‍රදේශයේ ඉඩම් කොටසක් පසුගිය 31 වනදා නිදහස් කරන බවට නිළධාරින් පවසා තිබූ නමුත් පොරොන්දු වූ පරිදි තම ඉඩම් නිදහස් නොකිරීම හේතුවෙන් එම ජනතාව මෙලෙස සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබේ.

සත්‍යග්‍රහය පවත්වාගෙන යන ස්ථානයට ඊයේ දින දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමෙන්තු මන්ත්‍රී සාන්ති ශ්‍රීස්කන්දරාජා, එස් සිවමෝහන් සහ පළාත් සභා මන්ත්‍රීවරුන් ඇතුළු නිළධාරින් පැමිණ එම ජනතාව සමතයට පත් කිරීමට තැත් කළ නමුත්, නැවත පදිංචිය සඳහා වසර හයක කාලයක් බලා සිටි තමන්ට තවඳුරටත් අවතැන්ව සිටීමට නොහැකි බවත් තම ඉඩම් වහාම නිදහස් කළ යුතු යැයි එම ජනතාව පවසා තිබේ.