SRILANKAN NEWS

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ 69 වන ජාතික නිදහස් දින පණිවුඩය

මානව හිමිකම් විසින් ස්වකීය නිදහස උදෙසා කරන ලද අරගල මතින් මානව ඉතිහාසය විචිත්‍රවත් වී තිබේ. ශ්‍රී ලංකාවේ අපිදු එවන් අහිමානවත් නිදහස් අරගල ඉතිහාසයකට හිමිකම් කියන්නෙමු. සියවස් ගණනක් ඈතට ඇදී ගිය රාජාණ්ඩු යුගයේ සිට නූතන ප්‍රජාතන්ත්‍රවාදය තෙක් පැමිණි ගමනේ එවන් අරගල පිළිබඳ සොඳුරු මෙන්ම අඳුරු මතක සටහන් ද ගැබ්වී තිබේ. ඒ නිදහස් සටහන වෙනුවෙන් කැප වූ අපගේ අතීත නෑයන්ගේ මෙන්ම ජනතාවගේ ද පරිත්‍යාගශීලී ගුණයට අප සදා ණයගැති වන්නෙමු. සැබැවින්ම ඒ ඉතිහාසයෙන් අපට දැනෙන්නේ ඔවුන් විසින් හෙළන ලද කඳුළු සුසුම හා රුධිරයනිදන් වූ උණුසුම් ආශ්වාදයකි.

69 වන නිදහස් සමරු උළෙල පවත්වන මේ මොහොත අපට අතිශයින්ම තීරණාත්මක මෙන්ම අභියෝගාත්මක ද වේ. ආසන්න අතීතයේදී අප විසින් අත්පත් කර ගන්නා ලද ප්‍රජාතන්ත්‍රවාදී නිදහස සුරක්ෂිත කිරීමේත් ස්වදේශික චින්තනය ඔස්සේ සියලු ජන කොටස් වලට අභිමානයෙන් ජීවත් විය හැකි රටක් නිර්මාණය කිරීමේත් වගකීම අපගේ උර මතට පැට වී තිබේ. ප්‍රජාතන්ත්‍රවාදය හා නිදහස නමින් වර්ණ ගන්වන ලද අඳුරු යුගයකින් අප නිදහස්ව සිටිමු. නිවී යමින් තිබුණු ප්‍රජාතන්ත්‍රවාදයේ හා මානව හිතවාදයේ ආලෝකය යළිත් දල්වාලීමට ද අප සමත් වීමු. එහෙත් නිදහස අර්ථවත් කිරීමට නම් දුගී බවින් ගිලන් බවින් මිදීම පමණක් නොව මානව හිමිකම් හා යුක්ති ධර්මය අගයන ජාති කුළ ආගම් භේද ‍ආදී කොටු පවුරු තුළ හිර වී දැඩි ආධ්‍යාත්මික හා සංස්කාතික දරිද්‍රතාවකට ලක්ව සිටින ජනතාව හා සමාජය එයින් ද නිදහස් කරගත යුතුය.

යුක්තිය සාධාරණත්වය මත පදනම් වූ අභිනව දේශයක සාමයෙන් හා සෞභාග්‍යයෙන් සපිරි ජන සමූහයක් ලෙස ජීවත්වීමේ භාග්‍යය අපට හිමි විය යුතුය. අවිද්‍යාව විද්‍යාවෙන් ද අසත්‍ය සත්‍යයෙන් ද වෛරය මෛත්‍රීයෙන් ද හිංසාව අහිංසාවෙන් ද ජයගත හැකි මනුෂ්‍යත්වයේ සුවඳ හමා යන නිදහසේ ස්වර්ණ භූමියක් පතිරූප දේශයක් බවට අපගේ රට පත්වේවායි ප්‍රාර්ථනා කරමි.

MESSAGE