ජිනීවා යෝජනාව වෙනුවෙන් ශ්‍රී ලංකාවට ‘තවත් වසර දෙකක්’

ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසාන භාගයේ සිදු වූ බව පැවසෙන බරපතල මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධයෙන් වගවීම ක්‍රියාත්මක කිරීම, අතුරුදහන්වූවන් සම්බන්ධයෙන් පියවර ගැනීම සහ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම ඇතුළු කරුණු ගණනාවක් ඇතුළත් එක්සත් ජාතීන්ගේ යෝජනාව ක්‍රියාත්මක කිරීම පිණිස ශ්‍රී ලංකාවට තවත් වසර දෙකක් කල් ලැබෙනු ඇතැයි ශ්‍රී ලංකා ආණ්ඩුව බලාපොරොත්තු පළකරයි.

බ්‍රිතාන්‍යය, ඇමෙරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාවේ සම අනුග්‍රහයෙන් ඉදිරිපත් කෙරුණු එම නිර්දේශ ඇතුළත් 30/1 යෝජනාව 2015 මාර්තු මාසයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේදී සම්මත කෙරුණි.

එම යෝජනාව ක්‍රියාත්මක කිරීම පිණිස තවත් වසර දෙකක කාලයක් ලබාදෙන මෙන් ඉල්ලා සිටිමින් බ්‍රිතාන්‍යය සහ ඇමෙරිකාව සමග එක්ව මානව හිමිකම් මණ්ඩලයට නව යෝජනාවක් ඉදිරිපත් කරන බව සංහිඳියා යාන්ත්‍රණ පිළිබඳ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලයේ මහ ලේකම් මනෝ තිත්තවැල්ල බීබීසී සිංහල සේවයට පැවසීය.

විදේශ අමාත්‍ය මංගල සමරවීර ගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා ආණ්ඩුවේ නිල දූත පිරිසේ සාමාජිකයකු ලෙස ඔහු මේ දිනවල ජිනීවා නුවර පැවැත්වෙන 34 වෙනි මානව හිමිකම් මණ්ඩල සැසිවාරයට සහභාගිවෙමින් සිටී.

“අපේ අලුත් ව්‍යවස්ථාවක් ළඟදීම පාර්ලිමේන්තුවේ විවාද කරන හින්දා, තව සංහිඳියා යාන්ත්‍රණ සම්බන්ධයෙන් කාලවේලාව දීමට ඒ රජයන් දෙකම යෝජනා කරලා තියෙනවා,” සංහිඳියා යාන්ත්‍රණ සම්බන්ධීකරණ කාර්යාලයේ මහ ලේකම්වරයා බීබීසී සිංහල සේවයට පැවසීය.

“මේ සැරේ මානව හිමිකම් කවුන්සිලයේදී අපි හිතන විදියට ඒකට අනුමැතිය ලැබෙයි කියල අපි බලාපොරොත්තු වෙනවා.”

අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය (OMP) ඉදිරි මාස තුන ඇතුළත පිහිටුවනු ඇතැයි බලාපොරොත්තුවන බවත් මනෝ තිත්තවැල්ල පැවසීය.

– බීබීසී සිංහල සේවය –

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top