SRILANKAN NEWS

වහල් සේවයට කාන්තාවන් යවන්න එපා : චන්ද්‍රිකා

කාන්තාවන් දේශපාලනයට අවශ්‍ය ප්‍රමාණය නිවැරදිව සම්බන්ධ කරගතහොත් කාන්තා ප්‍රශ්න විසඳීමට පහසුවනු ඇති බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ප්‍රකාශ කළාය. ලංකාවේ ජනගහනයෙන් කාන්තාවන් 51% ක් පමණ සිටියද පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජිතයන් සිටින්නේ 5.2% ක් පමණක් බවත්, එම තත්වය වෙනස් විය යුතු බවත් හිටපු ජනාධිපතිනිය පැවසුවාය.

ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් මානව හිමිකම් කොමිෂන් සභාව සංවිධානය කළ සාකච්ඡාමය වැඩසටහනට ඊයේ (08දා) බණ්ඩාරනායක අනුස්මරණ ජ්‍යාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සහභාගි වෙමින් හිටපු ජනාධිපතිනිය මේබව කියා සිටියාය.

“රැකියාවක් නැති නිසා කාන්තාවක් යම් රටකට ගියවිට ඒ කාන්තාවන්ට වහලුන් සේ සලකන රටවල් තිබෙනවා. ඔවුන් ඒ රටවලට යන එක නවත්වලා ඒහා සමාන පඩියක් දෙන රැකියා මේරටේ ආරම්භ කළ යුතුයි. වර්තමාන රජය සංචාරක කෂේත්‍රය දියුණු කරගෙන යනවා.

ලංකාවේ හෝටල්වලට සේවකයන් මදි. ඒවෙනුවට කාන්තාවන් යොදාගන්න පුළුවන් හොඳ පුහුණුවක්දීලා. ඒවගේම ලංකාවේ හෙදියන් බොහොම ප්‍රමාණයක අඩුවක් තිබෙනවා. වයෝවෘද්ධ පුද්ගලයන් රැකබලාගැනීම වැනි නව රැකියා සඳහා කාන්තාවන් පුහුණු කොට යොමුකළ යුතුයි.

ඉහළ වැටුප් ගැනීමට පුළුවන් රැකියා අවස්ථා ඕනෑ තරම් තිබෙනවා. තමාගේ ගෙදර කටයුතු කරන අතර මේරැකියා කරන්න පුළුවන්. මැදිපෙරදිග ලබාගන්න පඩියම ලබාගන්න පුළුවන් ගෙදර ඉඳගෙනම.  රජයක් හැටියට මම යෝජනා කරනවා මේදේවල් කරන්න කියලා. අඩුම තරමේ මැදපෙරදිග යන  පිරිසෙන් භාගයක් හෝ අඩුකරනවානම් ඒක වැදගත් යැයි කීවාය.

මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනි ආචාර්ය දීපිකා උඩගම මහත්මිය, මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන් ඇතුළු නිලධාරීන්ද, සිවිල් සංවිධාන සහ රාජ්‍ය ආයතනවල නිලධාරීහුද මෙම අවස්ථාවට එක්වසිටියහ.