SRILANKAN NEWS

උතුරේ විහාරස්ථාන ඉවත් කිරීමට කිසිවකුවට බැහැ – ස්වාමිනාදන්

Swaminathanඋතුරේ විහාරස්ථාන ඉවත් කිරීමට කිසිවිටක කටයුතු කළ නොහැකි බව නැවත බන්ධනාගාර පුනරුත්තාපන හා නැවත පදිංචි කිරීම් අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ උතුරේ කෝවිල් ඉඩම්වල බෞද්ධ විහාරස්ථාන හා බුද්ධ ප්‍රතිමා ඉදිකරන බවට එම ප්‍රෙද්ශවල පිරිස් කිලිනොච්චියේ දී අමාත්‍යවරයා වෙත කරන ලද පැමිණිල්ලකට පිළිතුරු දෙමිණි.

බෞද්ධ විහාරස්ථාන ඇතුළු බුදු පිළිම ඉදිකිරීමේ අයිතිය භික්ෂූන් වහන්සේලාට හා සිංහල ජනතාවට ඇති බවත් උතුරේ ඉදි කළ බෞද්ධ විහාර හෝ බුදුපිළිම කිසිවිටෙක ඉවත් නොකරන බවද ඉදිකර ඇති බෞද්ධ විහාරස්ථාන හා බුද්ධ ප්‍රතිමා ඉවත් කිරීමට උත්සාහ කළ හොත් එය විශාල ගැටළුවක් බවට පත් වනු ඇති බව ද අමාත්‍යවරයා එහිදී පවසා තිබේ.

මේ අතර, උතුරු පළාතේ බෞද්ධ සිද්ධස්ථාන ඉදිකිරීම සම්බන්ධයෙන් ගැටළුවක් නොමැති බව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පවසයි.

මහා පරිමාණයෙන් කෝවිල් සහ ක්‍රිස්තියානි ආගමික ස්ථානද මෙම ප්‍රදේශයේ ඉදිකෙරෙමින් පැවතුණද, මුළු උතුරු පළාතටම ඇත්තේ පන්සල් 13ක් පමණක් බව ආණ්ඩුකාරවරයා පවසා තිබේ.

හින්දු කෝවිල් හෝ ක්‍රිස්තියානි පල්ලි ඉදිකිරීම සම්බන්ධයෙන් තමාගේ කිසිදු විරෝධයක් නොමැති බවත්,උතුරේ වෙසෙන බෞද්ධයින් වෙනුවෙන් පන්සල් ඉදිකිරීම සම්බන්ධයෙන්ද ගැටළුවක් තිබිය නොහැකි බව රෙජිනෝල්ඩ් කුරේ මහතා වැඩිදුරටත් පවසා තිබේ.