SRILANKAN NEWS

කරයිච්චි ප්‍රාදේශිය සභාවේ සුළු සේවකයන් වැඩ වර්ජනයක

කිලිනොච්චිය, කරයිච්චි ප්‍රාදේශිය සභාවේ සුළු සේවකයන් අද දින සිට වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. කරයිච්චි ප්‍රාදේශිය ලේකම්වරයාගේ ක්‍රියා කටයුතුවලට විරෝධය පළ කරමින් ඔවුන් මෙලෙස වැඩ වර්ජනයක යෙදී සිටිති.

ලේකම්වරයා කුල නම් සඳහන් කර ඉතා පහත් අයුරින් සේවකයන්ව අවමන් කරන බවත්, දිගින් දිගටම පලිගැනීමේ අරමුණකින් කටයුතු කරන බවත්, වැඩ තහනම් කළ සේවකයන්ව වහාම යළි බඳවා ගත යුතු බවත්, කුල නම් යොදා අවමන් කළ ලේකම්වරයාව ස්ථාන මාරු කර යැවිය යුතුයි යන ඉල්ලීම් කිහිපයක් මුල්කරමින් ඉකුත් සේවකයන් අද සඳුදා දින පටන් සිය වැඩ වර්ජනය ආරම්භ කර තිබේ.

මේ සම්බන්‍ධයෙන් කරයිච්චි ප්‍රාදේශිය ලේකම් කනේසන් කමසනාදන්ගනේ විමසූ විට බාහිර සේවකයන් දෙදෙනෙකු තම වැඩ කටයුතු නිසිලෙස සිදු නොකර කාර්‍යාලය තුළ කලහකාරි ලෙස හැසිරුණු හෙයින් ඔවුන් දෙදෙනා සම්බන්‍ධයෙන් විමර්ශණය කිරීම සඳහා ඔවුන්ගේ වැඩ කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇති බවත්, ඉකුත් දෙදෙනා විසින් අනෙකුත් සේවකයන්ව මෙලෙස විරෝධතා කිරීමට පොළඹවා ඇති බව ද පවසා සිටියේය.

තවද එම දෙදෙනා තම රාජකාරියට අදාළව සේවය කිරීමට ඉදිරිපත්වන්නේ නම් ඔවුන්ව යළි සේවයට බඳවා ගන්නා බව පවසා සිටි ලේකම්වරයා, තමන් තම ජීවිතයේ කිසිඳු දිනක කුල නම් භාවිතා කර නැති බවත්, පරුෂ වචනවලින් බැණ වැදී නැති බවත්, මෙම චෝදනාව විරෝධතාකරුවන් තම ක්‍රියාවලිය සාධාරණීය කර ගැනීමට පවසන කාරණාවන් බව හෙතෙම පැවැසීය.