SRILANKAN NEWS

කනකාම්බිකයි විහාර ඉදි කිරීම් කටයුතු හෙලා දැක දැවැන්ත උද්ඝෝෂණයකට ඇරයුම්

kanakambikai poster_CIකිලිනොච්චිය ඉරණමඩු කනකාම්බිකයි අම්මන් කෝවිලට අයත් ඉඩමේ බෞද්ධ විහාරස්ථානයක් ඉදිකිරීම, බෞද්ධ ජනතාව නොමැති ප්‍රදේශවල සැලසුම් සහගතව බෞද්ධ සිද්ධස්ථාන ඉදිකිරීම ඇතුළු ක්‍රියා කටයුතු හෙලා දැක ලබන (21) සඳුදා දින කිලිනොච්චියේදී දැවැන්ත උද්ඝෝෂණයකට ඇරයුම් කර තිබේ.

කිලිනොච්චිය අලිමංකඩ සිට ආරම්භ කිරීමට නියමිත මෙම පාගමනට කිලිනොච්චියේ පොදු සංවිධානවලට ආරාධනා කර තිබේ. මේ සම්බන්‍ධයෙන් සොයා බැලීම සඳහා කිලිනොච්චියේ පොදු සංවිධාන අතර හමුවක් ද පවත්වා තිබේ.

දෙමළ ප්‍රදේශවල සිටින ජනතාව වෙදනාවට පත්කර සංහිඳියාවට බාධාවක් වන ලෙස සිදුකරන මෙවැනි කටයුතු වහාම නවතා දමන ලෙසත්, බෞද්ධ ජනතාව ජීවත් නොවන ප්‍රදේශවල මෙලෙස බෞද්ධ සිද්ධස්ථාන ඉදිකිරීම තවත් ආක්‍රමණික කටයුත්තක් බව දෙමළ ජනතාවගේ මතය බවද එහිදී පෙන්වාදී තිබේ.

එමෙන් දෙමළ ප්‍රදේශවල සිදුකරන ආගමික ආක්‍රමණික කටයුතු මැඩපැවැත්වන ලෙස අවධාරණය කර මෙම පාගමන හා උද්ඝෝෂණය පවත්වන අතර, කිලිනොච්චියේ පිහිටි එක්සත් ජාතීන් කාර්‍යාලයට සන්දේශයක් භාරදීමට නියමිත අතර ජනාධිපති, හා අග්‍රමාත්‍යවරයා වෙත ද එය යැවීමට තීරණය කර ඇති බව කිලිනොච්චිය දිස්ත්‍රික්ක පොදු සංවිධානවල නියෝජිතවරයකු ග්ලෝබල් පුවත් සේවයට පවසා සිටියේය.