SRILANKAN NEWS

නිදහස් කළ ඉඩම්වල ජනතාව පදිංචි විය යුතුයි – යාපනය දිස්ත්‍රික්ක ලේකම්

යාපනය, වලිගාමම් උතුරු ප්‍රදේශයේ නිදහස් කරන ලද ඉඩම්වල ජනතාව නැවැත පදිංචි විය යුතු යැයි දිස්ත්‍රික්ක ලේකම් නාහලිංගම් වේදනායකම් මහතා පවසයි. වලිගාමම් උතුර ඌරනි ග්‍රාම සේව වසමට අයත් ජනතාවගේ ඉඩම් නැවැත ලබාදීමේ උත්සවයට සහභාගි වෙමින් ඔහු මේ බව පවසා තිබේ.

තයියිටි උතුර සහ මයිලිටි ග්‍රාම සේවා වසමට අයත් වෙරළ ප්‍රදේශයේ කාන්ගසන්තුරයි මහා විද්‍යාලය සිට මයිලිටි ක්ෂය රෝග රෝහල දක්වා වූ අක්කර 28.8ක ඉඩම් ප්‍රමාණයක් ඊයේ දින නිදහස් කර තිබූ අතර, ඉඩම් නිදහස් කිරීම සඳහා වන සහතික පත්‍රය යාපනය දිස්ත්‍රික්ක හමුදා ආඥාපති මේජර් ජනරාල් දර්ශන හෙට්ටියාරච්චි මහතා විසින් යාපනය දිස්ත්‍රික්ක ලේකම්වරයා වෙත භාරදී තිබුණි.

මේ අතර හමුදාව විසින් නිදහස් කරන ලද ඉඩම්වල නැවැත පදිංචියට යන ජනතාව සඳහා නිවාස ඇතුළු සියළු පහසුකම් සපයාදීමට නියමිත බව ලේකම්වරයා පවසා තිබේ.