SRILANKAN NEWS

මේ වසරේ රජයේ ආදායම 23%කින් ඉහළට

increaseබදු ආදායම් රැස්කිරීමේ රජයේ වැඩපිළිවෙළ නිසා 2016 වසරේ මුල් මාස 07 තුළ වාර්තාගත ආදායමක් ලබාගැනීමට රජයට හැකිව ඇති බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. ඒ අනුව රජයේ ආදායම 23%කින් ඉහළ ගොස් ඇත.

පසුගිය 2015 වසරේ මුල් මාස 07 සහ 2016 වසරේ මුල් මාස 07 තුළ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ ආදායම් තත්ත්වයන් සැසදීමේ දී මෙලෙස ඉහළ ආදායම් වාර්තාවක් තබා ඇත. රැස්කිරීමේ රජයේ කාර්යක්ෂම වැඩපිළිවෙළ ඉතා සාර්ථක බව අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ අනුව මුල් මාස 07 තුළ පමණක් එම දෙපාර්තමේන්තු 03 උපයා ඇති ආදායම රුපියල් මිලියන 769,752ක් වන අතර පසුගිය වසරේදී එම ආදායම රුපියල් මිලියන 625,867කි. ඒ අනුව මෙම වසරේ එම ආදායම රුපියල් මිලියන 143,885කින් වර්ධනය වී ඇත.

රේගු දෙපාර්තමේන්තුව 2015 වසරේ මුල් මාස 07 තුළ රුපියල් මිලියන 376,994ක ආදායම් ලබා ඇති අතර, 2016 වසරේ එම කාලය තුළ රුපියල් මිලියන 457,616ක් ලබා ගෙන ඇත. එය 21.5% අදායම් වර්ධනයකි.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව 2015 වසරේ දී රුපියල් මිලියන 191,596ක ආදායමක් ද 2016 වසරේ දී එම කාලය තුළ රුපියල් මිලියන 242,811කි. එය 26%ක වර්ධනයකි.

සුරාබදු දෙපාර්තමේන්තුව 2015 වසරේ දී රුපියල් මිලියන 57,276ක මුදලක් ද 2016 වසරේ දී රුපියල් මිලියන 69,326ක මුදලක් ද උපයා ඇත. එය 21%ක වර්ධනයකි.

රට තුළට භාණ්ඩා ආනයනයේ දී ඒ වෙනුවෙන් නිසි ලෙස බදු මුදල් අයකර ගැනීම, නිසි පිරිදි බදු මුදල් රැස්කිරීම, නීති විරෝධී ලෙස මත්පැන් අලෙවි කිරීමට එරෙහිව විශේෂ මෙහෙයුම් සිදු කිරීම වැනි ක්‍රියා හේතුවෙන් අදාළ ආයතන මෙසේ ඉහළ ආදායමක් වාර්තා කිරීමට සමත්ව ඇති බවත් පෙන්වා දෙන මුදල් අමාත්‍යවරයා 2016 වසරේ අපේක්ෂිත ආදායම් ඉලක්ක වෙත කඩිනමින් ළඟාවනු ඇති බවට විශ්වාසය පළ කරයි.