SRILANKAN NEWS

දින 60ක් අවසන් වූ නමුත් කිසිඳු විසඳුමක් ලැබී නැහැ – අතුරුදන්වූවන්ගේ ඥාතීන්

බලහත්කාරයෙන් අතුරුදන්වූවන්ගේ ඥාතීන් වන අපි අපගේ විරෝධතා ව්‍යාපාරය ආරම්භ කර අදට දින 60ක් අවසන්වී තිබේ. අනාථවූවන් මෙන් මාර්ගයේ සිටින අපට මෙතෙක් කිසිඳු විසදුමක් ලැබී නැති බව අතුරුදන්වූවන්ගේ ඥාතීන්ගේ සංගමයේ සභාපති කලාරන්චනි පවසයි.

අතුරුදන්වූවන්ගේ ඥාතීන් විසින් පවත්වාගෙන යන විරෝධතා ව්‍යාපාරයට අදට දින 60ක් අවසන්වී තිබෙන අතර, කිසිඳු විසඳුමක් නොමැතිව තවඳුරටත් කිලිනොච්චිය කන්දසුවාමි කෝවිල් පරිශ්‍රයදී විරෝධතාවයේ නිරතව සිටින අතුරුදන්වූවන්ගේ ඥාතීන්ගේ සංගමයේ සභාපති කලාරන්චනි අද මාධ්‍යට අදහස් ප්‍රකාශ කරමින් මේ බව පවසා සිටියාය.

දින 60ක් තිස්සේ විරෝධතාවයේ නිරතව සිටින තමන්ව සියළු දෙනාම නොසලකා හැර ඇති බවත්, විවිද අර්බුදකාරි තත්වයන් මැද අතුරුදන්වූවන් වෙනුවෙන් යහපත් විසඳුමක් බලාපොරොත්තුවෙන් මෙම විරෝධතාව ආරම්භ කළ නමුත් කිසිවකු මේ ගැන උනන්දුවක් දක්වා නොමැති බව ඇය පවසයි.

ලබන 27 වනදා දින කිලිනොච්චියේ පූර්ණ හර්තාලයකට ඇරයුම් කර තිබෙන බවත්, එදින ව්‍යාපාරිකයන්, පොදු සංවිධාන, ප්‍රවාහන සංගම්, සිවිල් සංවිධාන, දේශපාලන පාර්ශවයන් ඇතුළු සියළු දෙනා එක්වී අතුරුදන්වූවන් වෙනුවෙන් යහපත් විසඳුමක් ලබා ගැනීමට සහාය ලබාදිය යුතු යැයි ඇය වැඩිදුරටත් ඉල්ලා සිටියාය.