SRILANKAN NEWS

හොර ආභරණවලින් කොටසක් ලබාගත් පොලීසිය, විනිසුරුවරයාටත් කොටසක් ඉල්ලයි…

හොර ආභරණවලින් කොටසල් ලබාගත් යාපනය පොලිස් ස්ථානයේ පොලිස් නිළධාරීන්, විනිසුරුවරයෙකුට ද කොටසක් ලබා දෙන ලෙස ඉල්ලා සිටීමෙන් ඇතිවූ ආරවුලක් හේතුවෙන් සිද්ධිය සම්බන්‍ධයෙන් පොලීසියටම පැමිණිළි කිරීමේ සිද්ධියක් වාර්තාවේ. සිද්ධිය සම්බන්‍ධයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අවධානයට යොමු කිරීමෙන් අනතුරුව පොලීසිය විසින් පුළුල් පරීක්‍ෂණයක් ආරම්භ කර තිබේ.

සිද්ධිය සම්බන්‍ධයෙන් වැඩිදුරටත් වාර්තාවන්නේ,

උතුරු පළාතේ මංකොල්ල සහ සොරකම් කරන ලද රන් ආභණ යාපනයේදී උණු කිරීම සහ ඉන්දියාවට ජාවාරම් කිරීමේ කල්ලියක් සමඟ උප පොලිස් පරීක්‍ෂවරයෙකු ඇතුළු පොලිස් නිළධාරීන් තිදෙනෙකු සම්බන්‍ධකම් පවත්වාගෙන ගොස් තිබේ.

ඒ අනුව ඉකුත් ජාවාරම් කල්ලියට ඉකුත් පොලිස් නිලධාරීන් ආරක්‍ෂාව සහ සහාය ලබාදී තිබෙන අතර, ඒ වෙනුවෙන් සොරකම් කරන ලද රත්‍රංවලින් කොටසක් කප්පම් ලෙස ලබාගෙන තිබේ.

මෙවැනි තත්වයකදී, හදිසියෙන්ම විනිසුරුවරයෙකුට ද කොටසක් ලබාදිය යුතු යැයි පවසා පොලීසිය විසින් සොරකම් කරන ලද රත්‍රංවලින් වැඩි කොටසක් ඉල්ලා තිබේ. මේ හේතුවෙන් ඉකුත් පොලිස් නිළධාරීන් සහ ජාවාරම්කරුවන් අතර ආරවුලක් ඇතිවී තිබේ.

අනතුරුව රන් ආභරණ සොරකම් කර ජාවාරමේ යෙදෙන පුද්ගලයන්ව අත්අඩංගුවට ගන්නා බවට පොලිස් නිළධාරීන් තර්ජනය කර තිබේ. මේ සම්බන්‍ධයෙන් රන් ආභාරණ සොරකමේ නිරතවූ කල්ලියේ පුද්ගලයෙකු යාපනය පොලීසියේ ඉහළ නිළධාරියෙකුට පැමිණිළි කර තිබේ. එහිදී උප පොලිස් පරීක්‍ෂවරයා ජංගම දුරකථනයෙන් කප්පම් ඉල්ලා තර්ජනය කරන හඞපටයද භාරදී තිබේ.

අනතුරුව ඉකුත් ඉහළ පොලිස් නිළධාරිවරයාගේ ප්‍රධානත්වයෙන් යුතු විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් වැඩිදුර විමර්ශණ කටයුතු ආරම්භ කළ අතර, පසුගියදා රන් ආභරණ වෙළඳසැල් තුනක හිමිකරුවන් ද සාක්‍ෂි ලබාදී තිබේ. එහිදී උප පොලිස් පරික්‍ෂවරයා ඇතුළු ඉකුත් පොලිස් නිළධාරීන් තිදෙනාට මෙතෙක් ලබාදුන් රත්‍රං සහ මුදල්වල තොරතුරු ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව පොලිස් කොස්තාපල්වරයෙකුට පවුම් 10ක රන් ආභරණ සහ රුපියල් 25 දාහක මුදලක්ද ලබාදුන් බව හෙළිවී තිබේ.