අප දැන් ලෝකයේ සෑම රටක් සමඟම මිතුරු වී සිටින බවත් යුරෝපය පමණක් නොව, ඉන්දියාව, ජපානය, චීනය, සිංගප්පූරුව ආදී රටවල් ද අපේ හොඳ මිතුරන් බවට පත්වී සිටින බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ජපානයට හා ඉන්දියාවට යෑමට මට අවස්ථාව ලැබී තිබෙන අතර ඔවුන් අපේ දියුණුවට විශාල වශයෙන් උපකාර කරන බව පෙන්වා දුන් අගමැතිවරයා එම ප්‍රධාන නගර දියුණු කිරීම සඳහා අවශ්‍ය සැලසුම් සකස් කිරීමට ආධාර කිරීමට, කොළඹ වරාය තවත් දියුණු කිරීමට, කොළඹ වරායට උතුරින් තවත් වරායක් ඉදිකිරීමට, කටුනායක ගුවන් තොටුපොළ දියුණු කිරීමට, කොළඹ සැහැල්ලූ දුම්රිය මාර්ගයක් ඉදිකිරීමට, මෙරටට හොඳ තාක්‍ෂණය ලබා දීමට, මහනුවර අලුත් නගරයක් බවට පත් කිරීමට, ත්‍රිකුණාමලය වරාය ආශ්‍රිත ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට මෙන්ම අපගේ රූපවාහිනී නාලිකා ඩිජිටල්කරණය කිරීමට ජපානය එකඟ වී සිටින බව ද පෙන්වා දුන්නේය.
බදුල්ල, ඌවපරණගම යොවුන් අපනයන කෘෂි ගම්මාන සමාරම්භක උත්සවයට සහභාගි වෙමින් අගමැතිවරයා පසුගියදා මේ බව සඳහන් කළ එම සම්පූර්ණ කතාව පහත සඳහන් වේ.
මා බදුල්ල දිස්ත්‍රික්කයට පැමිණෙන්නේ නිලධාරීන් ඇතුලු පාක්‍ෂිකයින් සමඟ දිස්ත්‍රික්කය සම්බන්ධව සාකච්ඡා කිරීමටයි. නමුත් අද ඌව පරණගමට පැමිණියේ ඉතා දුෂ්කර ගම්මානයක් වන යාලගමුවේ පැවැත්වෙන උත්සවයකටයි. මෙම දුෂ්කර ගම්මානයේ පැවැත්වෙන උත්සවයට සහභාගි වීමට පැමිණි ඔබ සැමට මාගේ ස්තූතිය පළමුවෙන්ම පුද කිරීමට කැමතියි. වියළි කාලගුණය මධ්‍යයේ ද උෂ්ණත්වය නොතකා මෙහි පැමිණි ඔබට නැවත වාරයක් ස්තූතිවන්ත වීමට කැමතියි. ඌව පරණගම, වලපනේ, වියලුව යන ආසන තුළ එකතු වන ස්ථානයක් වන මෙම නොදියුණු ප්‍රදේශය දියුණු කිරීමේ කාර්යය උපාලි සමරවීර මහතා බාරගත්තා.
උපාලි සමරවීර මහතා පාර්ලිමේන්තුවේ මෙන්ම පළාත් සභාවේ ද දක්‍ෂ අන්දමින් තම වැඩ කටයුතු සිදු කළා. පළාත් සභාවේ කෘෂිකර්ම අමාත්‍යාංශය උපාලි සමරවීර මහතාට බාර දුන්නේ මෙම ප්‍රදේශයට විශාල සේවයක් කිරීමටයි. එතුමා සිදු කරන වැඩ කටයුතු පිළිබඳව සොයා බැලීමට පැමිණෙන්නැයි කීප වතාවක්ම මට ආරාධනා කළා. ඒ අනුවයි අද මා මේ ප්‍රදේශයට පැමිණියේ. එතුමාගේ අරමුණ මේ ප්‍රදේශයේ යොවුන් කෘෂි අපනයන ගම්මානයක් ආරම්භ කිරීමයි. ඒ සඳහා විවිධ පාර්ශ්වයන් විවිධ අදහස් උපදෙස් ලබා දී තිබෙනවා. ප්‍රාථමික කටයුතු අමාත්‍යාංශයෙන් ද අවශ්‍ය මුදල් ආධාර ඒ සඳහා ලබා දෙනවා. ඉදිරියේ දී මේ සඳහා තවත් සැලසුම් ඉදිරිපත් කළායින් පසු මුදල් ලබාදීමට අප සූදානම් බව පැවසීමට කැමතියි.
තල්පිටිගල ජලාශය ඉදිවීමත් සමගම මේ ප්‍රදේශය විශාල දියුණුවක් ලබනවා. ජාතික ආණ්ඩුව ඇති කරන අවස්ථාවේ දී සිවිල් ගුවන් සේවා හා ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසා සිටියේ තල්පිටිගල ජලාශය ඉදිකර එම ව්‍යාපෘතිය සාර්ථක ව්‍යාපෘතියක් කර ගැනීමට ආධාර උපකාර ලබාදෙන ලෙසයි. චීන රජයට මේ පිළිබඳව කථා කර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දැන් මුදල් අනුමත වී තිබෙනවා.
තල්පිටිගල ජලාශ ව්‍යාපෘතිය සාර්ථක වූ පසුව මෙහි ඉඩම්වල වටිනාකම දෙගුණයකටත් වඩා වැඩි වීමට නියමිතයි. කෘෂි අපනයන ගම්මානයක් මෙහි ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. සාමාන්‍යයෙන් ගම්මානවල පදිංචි කරවන්නේ වී ගොවිතැන් කිරීමට හෝ වෙනත් සාම්ප්‍රදායික බෝග වගා කිරීම සඳහායි. නමුත් මේ ගම්මානයේ තත්ත්වය ඊට වඩා වෙනස් බව කිව යුතුයි. අපනයනයට අවශ්‍ය ගොවිතැන් මෙහි සිදු කෙරෙනවා. ශ්‍රී ලංකාව අපනයන ආර්ථිකයක් සඳහා සූදානම් විය යුතුයි.
ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා මීට වසර 40 කට පෙර ශ්‍රී ලංකාව ලෝක වෙළෙඳපොළට එකතු කර අපනයන ආර්ථිකයේ මූලාරම්භය ඇති කළා. යුද්ධය නිසා යම් යම් පසුබෑම් ඇති වුණා. 2009 වසරේ දී යුද්ධය අවසන් වූ පසුව අප නැවතත් අපනයන ආර්ථිකයකට ගමන් කළ යුතුව තිබුණා. යුද්ධයෙන් පසුව අපේ ආර්ථිකය විනාශ වුණා. ආර්ථිකය දියුණු කරන්නට අපට ශක්තියක් තිබුණේ නැහැ.
ආර්ථිකය දියුණු කිරීම සඳහා තිබෙන එකම මාර්ගය අපනයන වෙළෙඳපොළට ගමන් කිරීමයි. ශ්‍රී ලංකාවට දැන් යුරෝපා වෙළෙඳපොළ විවෘත වී තිබෙනවා. 2003 වසරේ මා අගමැතිවරයා වශයෙන් සිටිය දී ඒ පිළිබඳ සාකච්ඡා කළා. නමුත් ඉන් පසු පැමිණි ආණ්ඩුව එය ප්‍රතික්ෂේප කළා. නමුත් බංග්ලාදේශය යුරෝපා වෙළෙඳපොළ අල්ලා ගත්තා. දැන් බංග්ලාදේශයට ගෙවුම් ශේෂයේ ප්‍රශ්නයක් නැහැ. ඕනෑ තරම් විදේශ විනිමය තිබෙනවා. අපට වඩා පස් හය ගුණයකින් බංග්ලාදේශය විදේශ විනිමයෙන් පොහොසත් වී තිබෙනවා. බංග්ලාදේශය ඔවුන්ගේ අවස්ථා මෙන්ම ශ්‍රී ලංකාවට ලැබුණු අවස්ථාවලින් ද ප්‍රයෝජන ගැනීම නිසා මේ දියුණුව ලබා ගැනීමට හැකි වුණා.
එකල අපට යුරෝපා වෙළෙදපොලට පිවිසීමට තිබුණු අවස්ථාව ප්‍රතික්ෂේප කළා. ඒ නිසා පසුගිය ආණ්ඩුවට රටේ ආර්ථිකය දියුණු කිරීමට නොහැකි වුණා. දිගින් දිගටම ඔවුන් ණය ගැනීමට පටන් ගත්තා. ශ්‍රී ලංකාව එතෙක් ලබා ගෙන තිබුණේ දේශීය වාණිජ ණය පමණයි. පසුගිය ආණ්ඩුව විදේශීය වාණිජ ණය ගන්නත් පටන් ගත්තා. ආර්ථිකය බංකොලොත් වුණා. අපේ ආර්ථිකයට ණය ගෙවන්න ශක්තියක් නැති වුණා. ආදායමක් තිබුණෙත් නැහැ. ණය ගෙවීමට නොහැකි පුද්ගලයෙකු ණයක් ගත් විට සිදු වන්නේ කුමක්ද? ණය ගෙවීමට හැකි මට්ටමට ආදායම ප්‍රමාණවත් විය යුතුයි. නමුත් පසුගිය රජය සීමාවකින් තොරව ණය ගැනීම නිසා ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වුණා. ආණ්ඩු මාරුව සිදු වුණේ මෙවැනි තත්ත්වයක් තිබිය දී බව කිව යුතුයි.
මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්‍ෂකයෙකු ලෙස ඉදිරිපත් කොට ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව ජාතික ආණ්ඩුවක් බිහි කළේ ණය උගුලෙන් ගොඩ ඒමටයි. අප ණය උගුලේ සිර වී මැරෙනවාද, නැතිනම් අපේ ශක්තියෙන් ණය උගුලෙන් ගොඩ එනවා ද කියා තීරණය කිරීමට අපට සිදු වුණා.
පළමුවෙන්ම කළ යුත්තේ රටේ ආදායම වැඩි කිරීමයි. අප ඒ වැඩ කටයුත්ත සිදු කරමින් සිටිනවා. ආදායම් බදු නොගෙවූ පුද්ගලයින්ගෙන් ආදායම් බදු අය කර ගත්තා. වැට් බදු අය කර ගත්තා. ඊට එරෙහිවත් විශාල උද්ඝෝෂණ පැවැත්වුණා. නමුත් මේ වන විට රජයේ ආදායම වැඩි වී තියෙනවා. එම නිසා ආණ්ඩුව පවත්වා ගැනීම සඳහා ගත යුතු ණය ප්‍රමාණය අඩු කිරීමට අපට හැකියාව ලැබුණා.
ලබන වසරේ පමණක් අපට ගෙවීමට ඇති දේශීය ණය ප්‍රමාණය රුපියල් කෝටි අනූහයදහසක්. මෙසේ ගෙවිය යුතුව තිබෙන්නේ 2007, 2008, 2009 වසරවල ගත් ණය යි. ඊළග වසර හතරේ දී ගෙවිය යුතු විදේශ ණය ප්‍රමාණය ඩොලර් කෝටි එක්දහස් පන්සීයක් පමණ වෙනවා. තද අව්වට ක්ලාන්තය හැදුණේ නැතත් මේ ණය මුදල් ගැන ඇසූ විට ක්ලාන්තය හැදෙනවා.
මේ ණය බර කළමනාකරණය කර ගනිමින් අප රට දියුණු කළ යුතුව තිබෙනවා. 2020 වන විට ණය ගෙවීමට හැකියාව ඇති ශක්තිමත් ආර්ථිකයක් බිහි කිරීම අපේ අරමුණයි. එක් පැත්තකින් අප ක්‍රමානුකූලව රජයේ ආදායම වැඩි කර තියෙනවා. අනෙක් අතින් තරුණ තරුණියන් සඳහා රැකියා බිහි කළ යුතුයි. අප එය කරන්නේ කෙසේද? අප ණය ගන්නවා නම් එය ගෙවීමටත් හැකියාවක් තිබිය යුතුයි. ඒ සඳහා අපනයන ආර්ථිකය ශක්තිමත් කළ යුතුයි. ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළින් පමණක් මේ මුදල් සොයා ගන්නට හැකියාවක් නැහැ. යුරෝපා වෙළෙඳපොළ, ඉන්දියා වෙළෙඳපොළ, චීන වෙළෙඳපොළ අල්ලා ගෙන අපනයන ආර්ථිකය දියුණු කළ යුතුව තිබෙනවා. එසේ කළ විට ඊළඟ වසර දහයේ දී වුවත් ණය ගත් විට ඒ ණය පහසුවෙන්ම ගෙවා දැමිය හැකි තත්ත්වයක් උදා වෙනවා.
Add Comment