SRILANKAN NEWS

ජවිපෙ නායක අනුර දිසානායක මහතාගේ වෙසක් දින පණිවිඩය…

බුදුරජාණන් වහන්සේගේ උපත, බුද්ධත්වයට පත්වීම, පිරිණිවන් පෑම සිදුවූ වෙසක් පුන් පොහොය දිනය ලෝකවාසී බෞද්ධ ජනතාවට අතිශයින්ම වැදගත් දිනයකි. අවිහිංසාවාදය, සංහිඳියාව හා සමානාත්මතාවය ඇතුළු මිනිස් සමාජය යහපත් ලෙස පවත්වා ගැනීම සඳහා වූ ප‍්‍රතිපත්ති සමුදායක් බෞද්්ධ දර්ශනය විසින් ලෝකට පෙන්වා දෙයි. ශ‍්‍රී ලංකාව ධර්මද්වීපය ලෙස හඳුන්වනු ලැබුවේ මෙම ප‍්‍රතිපත්ති රැකුණු යුගයන්හිදීය.

කෙසේවුවද වර්තමානයේදී ශ‍්‍රී ලංකාව බුදු බණෙන් ආරම්භ වී බුදු බණෙන්ම දිනය අවසන් කළද හැම දිනයකදීම සිදුවන අපරාධ සංඛ්‍යාවේ අඩුවීමක් දැකිය නොහැක. රටක් තුළ අපරාධ වැඩි වන්නේ සොරකම් ඉහළ යන්නේත් ආධ්‍යාත්මික හා සදාචාර පිරිහීම් ඇතිවන්නේත් රටත් ජනයාත් ආර්ථික වශයෙන් කඩා වැටීම නිසා බව යන්න බුද්ධ දේශනාවේ ඉගැන්වීමයි.

බුදුන් වහන්සේගේ ධර්මය සුරකින බවට ව්‍යාජ ලෙස පෙන්වමින් ජනතාව රවටන පාලකයින් කටයුතු කරමින් සිටින්නේ, රට ආර්ථික වශයෙන් ඉහළ නංවා ජනතාවගේ ජීවන තත්වය නංවනු වෙනුවට, අපරාධවලට, සොරකම්වලට, සදාචාර පිරිහීම්වලට ඉඩ නොතබනු වෙනුවට රටත් ජනතාවත් තව තවත් ආර්ථික වශයෙන් කඩා වැට්ටවන පියවර ගැනීමටය. මෙවැනි දුර නොපෙනෙන පාලකයින් සිටිනා තාක්  ශ‍්‍රී ලංකාව අපරාධද්වීපයක් බවට පත්වීම කිසිසේත්ම වැළැක්විය නොහැකිය.

මේ තත්වය තුළ ශ‍්‍රී ලංකාව තුළ සිදුකෙරෙන මේ ආර්ථික, සංස්කෘතික, සදාචාර පරිහානිය අවසන් කිරීම සඳහා සියලු අගතීන්ගෙන් ඈත්වීම සැබෑ ලාංකේය බෞද්ධයන්ගේ යුතුකම හා වගකීම වේ. එමෙන්ම බුදුන්වහන්සේගේ වටිනා ඉගැන්වීම් අනුව මිනිස් ජීවිත හැඩගසා ගැනීමට සැබෑ ලෙසම හැකිවන පරිසරයක් ගොඩනගාගැනීමත් එවැනි සමාජයක් ඇති කරගැනීම සඳහා පවතින බාධා ඉවත් කර ගැනීමටත් ලාංකේය බෞද්ධ ජනතාව මෙම වෙසක් දිනයේ අධිෂ්ඨාන කර ගනු ඇතැයි අපි අපේක්ෂා කරමු.”