SRILANKAN NEWS

රට කැඩීමට හෝ රට බෙදීමට ජනාධිපති ධුරයට පත් වූයේ නැහැ – ජනාධිපති

Maithripala-Sirisenaඇතමුන් චෝදනා කරන පරිදි තමන් ජනාධිපති ධුරයට පත් වූයේ රට කැඩීමට, රට බෙදීමට හෝ ආරක්ෂක අංශ දුර්වල කිරීමටවත්, බුදු දහමට හිමි තැන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ඉවත් කර දැමීමටවත් නොව රටේ නිදහසත් ස්වාධීනත්වයත්, ඓතිහාසික උරුමයත් උපරිමයෙන් ආරක්ෂා කරමින් නිදහස්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක් ලෙස රට ගොඩනැගීමට බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (11) පස්වරුවේ හම්බන්තොට ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති “අමරවිරු පියමඟ” උත්සවය අමතමිනි.

ඉතිහාසය විසින් තමාට පැවරූ වගකීම් රැසක් පවතින අතර යුගයක, යුග මෙහෙවරක් ලෙස එම වගකීම් හෘද සාක්ෂියට අනුවම ජනතාව වෙනුවෙන් ඉටු කරන බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජනතාවට තමන්ගෙන් ඉටු විය යුතු යුතුකම් නිසි ලෙසම ඉටු කිරීම දේශපාලඥයාගේ වගකීම බවත්, දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති සහ මහා දර්ශනයන් පිළිබඳ කථා කිරීමට පෙර තම දෙපා ළග තිබෙන ගැටලු හදුනාගෙන කටයුතු කිරීම දේශපාලනඥයින්ගේ වගකීම බවද මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා ජනතාව අතරට ගොස් ඔවුන්ගේ දෛනික ජිවිතයේ ගැටලු සොයා බලා ඒවාට විසදුම් ලබාදීම සියලු මහජන නියෝජිතයින්ගේ වගකීම බවද කියා සිටියේය.

අද වියළි කාලගුණ තත්ත්වයත් සමඟ ලක්ෂ ගණනක් ජනතාව පානීය ජල හිඟයෙන් පීඩා විදින අතර තම ප‍්‍රදේශවලට අයත් සියලු ගම්මානවලට ගොස් එම ජනතාවගේ අවශ්‍යතා සොයා බැලීමට දේශපාලනඥයින් කටයුතු කළයුතු බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේය.

– Global Tamil News – Sinhala