SRILANKAN NEWS

අනුර සේනානායකට ඇප

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන සිදුවීමට අදාළව තොරතුරු වසන් කළ බවට චෝදනා එල්ලවී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා ඇප කොන්දේසි සපුරා අද දිනයේ අධිකරණයෙන් පිටව ගොස් තිබේ.

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට පසුගිය ජූනි 02 වන දින කොළඹ මහාධිකරණයෙන් ඇප නියම කරනු ලැබිණි.

මහාධිකරණය විසින් සිදුකරන ලද එම ඇප නියෝගය මෙම නඩුව විභාගයට ලක්කෙරුණු මහේස්ත්‍රාත් අධිකරණය වෙත දැනුම්දීමෙන් අනතුරුව අද (05) දිනයේදී එම ඇප කොන්දේසි සපුරා ඔහු අධිකරණයෙන් ඇප මත මත නිදහස ලබා පිටව ගිය බව අප වාර්තාකරු පවසයි.

තාජුඩීන් ඝාතනයේ තොරතුරු වසන් කළ බවට චෝදනා ලැබ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකාර හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා, රුපියල් ලක්ෂ 10ක මුදල් ඇප හා රු. ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප 3ක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර තිබිණි.

එසේම සතියේ සෑම ඉරිදා දිනකම පෙරවරුවේ කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසටත්, අනුර සේනානායක මහතාට විදේශ ගතවීම තහනම් කරමින් විදේශ ගමන් බලපත්‍රය අධිකරණ බාරයේ තැබීමටත් අධිකරණය තීරණය කර ඇත.