” අප නව ශිෂ්ටාචාරයක් කරා ගමන් ආරම්භ කළේ එදවස මිහින්තලාවේදී දෙවන පෑතිස් රජතුමා දඩ කෙළි නිමාකළ තැන සිටිය. එතැන්හිදී දුනු හී අත්හළ රජතුමා සමඟ අප ජාතිය එළැඹුනේ පංචශීලයට අනුගතව, අහිංසාව, කරුණාව සහ මෛත්‍රීය පෙරදැරි කරගත් ගමනකටය.
එදවස අප ලැබුවේ නව දහමක උරුමය පමණක් නොවේ. සමකාලීන භාරතීය මෞර්ය රාජ්‍යයේ පැවති ශිෂ්ටාචාරය ද අධ්‍යාපනය සාහිත්‍යය ගෘහ නිර්මාණය, කෘෂිකර්මාන්තය මෙන්ම සාරධර්මයන්ගෙන් පිරිපුන් ජීවන සම්ප්‍රදාය ද අපට ඒ සමඟ උරුම වූයේය.
එනයින් පොසොන් පොහොය උදාව සහ මිහිදු මහරහතන් වහන්සේ වැඩම කිරීම, අප සැලකිය යුත්තේ අපේ අනාගතය බිහි කළ ඓතිහාසික සංසිද්ධිය ලෙසිනි.
මහින්තලා පුදබිම අපේ ජාතික මව්උකුල බවට පත්වන්නේ ඒ අනුවය.
එලෙස පැමිණි අපගේ ගමන්මග සතා සීපාවගේ ජීවිතයට පවා ගරු කළ අහිංසක ප්‍රතිපාදාවක් සමඟ බැඳුණේය. ලොව ප්‍රථම සත්ත්ව අභය භූමිය මිහින්තලා අඩවියේ බිහිවන්නේ ද ඒ අනුවය. එසේම පරිසරය සමඟ සමීප සබැඳියාවකින් ජීවත් වන්නට බුදුදහම කෙරෙන් දැක්වුණු මගපෙන්වීම, අපේ නිරුපද්‍රිත පැවැත්මට ප්‍රමුඛ සාධකයක් වූයේය. අපගේ පැවැත්ම සොබාදහමේ යම් තර්ජනයන්ට ලක්වූයේ අප බුදුදහමේ ඉගැන්වීම් කෙරෙන් බැහැර වූ කල්හීය. පරිසරය හා මිනිසා අතර වන අන්‍යෝන්‍ය සබඳතාවය බිඳීගිය කල්හි සිදුවන අයහපත පිළිබඳව දීඝනිකායේ අග්ගඤ්ඤ සූත්‍රයේ සඳහන් වන්නේ මිනිසා සොබාදහමට එරෙහිව අසීමිත තෘෂ්ණාවෙන් කරනු ලබන විෂම ක්‍රියාවන්ගේ ඵලය මිනිසා කෙරෙහිම විෂම ලෙස එල්ලවන බවය.
මේ උතුම් පොසොන් පොහෝදා අපගේ අධිෂ්ඨානය විය යුත්තේ බුදුබණ අඹ ගසක් සෙවණේදී පළමුවරට ඇසූ ශ්‍රාවකයන් ලෙසය. සිතින්, කයින්, වදනින් සංවරව සරිසරයට යහපත මුදාහරිමින් ලෝකය වඩාත් යහපත් කරන්නට කැපවෙමු ය යන්නය.
සැමට පින්වත් පොසොන් පොහොයක් වේවා!”
Add Comment