SRILANKAN NEWS

ප්‍රදේශ කිහිපයක් සිඳුවූ රිය අනතුරුවලින් තිදෙනෙකු මරුට..

දිවයිනේ ප්‍රදේශ කිහපයක සිදුවූ අනතුරුවලින් පුද්ගලයින් තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. එම අනතුරුවලින් තුවාල ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 14ක්.

පිළියන්දල කොට්ටාව මාර්ගයේ ගොරකපිටිය ප්‍රදේශයේ දී සිදුවූ අනතුරකින් දාහත්හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්වුණා. ඔහුට යතුරුපැදියේ වේගය පාලනය කරගත නොහැකිව එය මාර්ගයෙන් ඉවතට පැන අසල පිහිටි කානුවකට වැටීමෙනුයි අනතුර සිදුවුණේ. ජීවිතක්ෂයට පත්වූ තරුණයා පන්නිපිටිය පැලන්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

වාලච්චේන, කිරාන්, තොප්පිගල මාර්ගයේ තුරෙයිඅඩි ප්‍රදේශයේ දී සිදුවූ අනතුරකින් ද පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා. යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටීමෙනුයි අනතුර සිදුව ඇත්තේ. යතුරුපැදිකරුවන් දෙදෙනා සහ තවත් කාන්තාවක් අනතුරෙන් බරපතල තුවාල ලැබුවා. ඔවුන් රන්දිවේලි රෝහලට ඇතුළත් කෙරුණු අතර එක් යතුරුපැදි කරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

කල්කුඩා කුඹුරුමුල්ල මාර්ගයේ වෙම්බුකෝවිල අසලදී ජීප්රථයක් මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටීමෙන් අනතුරක් සිදුවුණා. අනතුරෙන් එහි රියදුරු ඇතුළු හතරදෙනෙකු තුවාල ලැබූ අතර ඔවුන්ගෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වුණා. ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයාගේ වයස අවුරුදු 35ක්. ඔහු පොලොන්නරුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

මේ අතර සෝමාවතිය සුංගාවිල මාර්ගයේ සෝමාවතිය රක්ෂිත ප්‍රදේශයේ දී ලොරි රථයක් ඉදිරියෙන් පැමිණි යතුරුපැදියක හා ත්‍රී රෝද රථයක ගැටී තිබෙනවා. අනතුරෙන් ලොරි රථයේ සහ ත්‍රී රෝද රථයේ ගමන් ගත් පුද්ගලයින් 08 දෙනෙකු සහ යතුරුපැදිකරු තුවාල ලැබුවා. ඔවුන් පොළොන්නරුව රෝහලට ඇතුළත්කර තිබෙනවා. තුවාල ලැබූවන් අතර ළමයින් තුන්දෙනෙකු ද වන බවයි වාර්තා වන්නේ.