WORLD NEWS

බ්‍රිතාන්‍ය මහ මැතිවරණය – තෙරේසා මේ සුළුතර ආණ්ඩුවක් පිහිටුවයි

බ්‍රහස්පතින්දා පැවැත්වුණු මහ මැතිවරණයේදී බහුතර බලයක් ලබාගැනීමට නොහැකි වුවත්, සුළුතර ආණ්ඩුවක් පිහිටුවන බව වැඩිම ආසන දිනාගත් තනි පක්ෂයේ නායිකාවවන තෙරේසා මේ නිවේදනය කළාය.

කොන්සර්වේටිව් පක්ෂය ආසන 318 ක් දිනාගෙන සිටින අතර සුළුතර ආණ්ඩුවක් පිහිටුවීම පිණිස සහාය දෙන බව උතුරු අයර්ලන්තය දිගටම බ්‍රිතාන්‍යය තුළ රැඳී සිටීම වෙනුවෙන් පෙනී සිටින ඩිමොක්‍රටික් යූනියනිට් පක්ෂය (DUP) නිවේදනය කර තිබේ.

බකිංහැම් මාලිගයේදී එළිසබෙත් රැජින මුණගැසීමෙන් අනතුරුව අගමැති නිල නිවස ඉදිරිපස දී කෙටි ප්‍රකාශයක් කළ තෙරේසා මේ, බහුතර බලයක් දිනාගැනීමට නොහැකිවීම හෝ පක්ෂයේ පරාජය පිළිබඳව කිසිවක් සඳහන් නොකළාය.

කිසිදු පුද්ගලයකු හෝ ජනකොටසක් අත්හැර නොදමමින්, සෞභාග්‍යය සහ අවස්ථා සියලු දෙනාටම බෙදී යන ආකාරයෙන් ඉදිරි වසර පහ ඇතුළත බ්‍රිතාන්‍යය ගොඩනගන බවට ඇය ප්‍රතිඥා දුන්නාය.

“සමස්ත එක්සත් ජනපදයේ අවශ්‍යතා උදෙසා” කොන්සර්වේටිව් පක්ෂය සහ DUP පක්ෂය එකමුතුව කටයුතු කරන බවත් අගමැතිනි තෙරේසා මේ සඳහන් කළාය.

සිකුරාදා සවස් යාමයේ අගමැතිනිය නව කැබිනට් මණ්ඩලය පත්කිරීමට නියමිත බව දේශපාලන කටයුතු පිළිබඳ බීබීසී සංස්කාරකවරිය ලෝරා කුසෙන්බර්ග් සඳහන් කරයි.

– බීබීසී සිංහල –