හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල හා රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද යන අයට එරෙහිව අධිකරණය හමුවේ නඩු පවරනු ලැබුවා. තවත් නඩු කිහිපයක් කැඳවීම ද අද සිදුවුණා.
කෙහෙළිය රඹුක්වැල්ල ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ ඔහුගේ පෞද්ගලික ජංගම දුරකථනයේ රුපියල් දෙලක්ෂ තිස් දහස් නවසිය අසූහතරක මුදලක් මුද්‍රණ නීතිගත සංස්ථා මුදලින් පියවා ඇති බවට චෝදනා එල්ල වී තිබෙනවා. මේ සමබ්න්ධයෙන් අල්ලස් කොමිසම හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට හා රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපතිවරයාට එරෙහිව මෙම නඩුව පවරනු ලැබුවා. හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්දට ලබන මස 17 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නොතිසි නිකුත් කළා.
හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවේ හිටපු අධ්යක්ෂ ජෙනරාල් අනූෂ පැල්පිට යන අයට එරෙහි නඩුවේ විත්තියේ සාක්ෂි විමසීම අද අවසන් වුණා. විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවට අයත් රුපියල් මිලියන 600යක මුදලක් සාවද්‍ය පරිහරණය කළ බවටයි ලලිත් වීරතුංග හා අනූෂ පැල්පිට යන අයට චෝදනා එල්ල වී ඇත්තේ. පසුගිය ජනාධිපතිවරණ සමයේදී සිල් රෙදි බෙදාදීමේ වැඩසටහනකට මෙම මුදල් යෙදවූ බව පැවසෙනවා. පැමිණීලි පාර්ශ්වයේ සාක්ෂිකරුවන් කැදවීම සම්බන්ධයෙන් වූ ඉල්ලීම පිළිබද නියෝගය ලබන 19 වනදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
කැනඩාවට යාමට වීසා ලබා දෙන බව පවසා දෙමළ තරුණයින් දෙදෙනෙකුගෙන් රුපියල් ලක්ෂ 34ක් වංචා කළ සිද්ධියේ ප්‍රධාන සැකකරු ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවියයි නියෝගය ලබා දුන්නේ. දෙවන සැකකාරිය රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපයක් මත මුදා හැරීමට මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.
බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන්වහන්සේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබෙනවා. සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ ඒකකය තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසයි උන්වහන්සේ මෙම පෙත්සමින් ඉල්ලා ඇත්තේ.
Add Comment